ජනපති ගෝඨාගේ අතක් ටෙලිකොම් සභාපති පුටුවට?

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස මෙරට රාජ්‍ය සමාගම් කිහිපයකම සභාපති ධුරය දැරූ නිමල් පෙරේරා මහතා පත් කිරිමට යෝජනා වී ඇතැයි වාර්තා වෙයි. 

ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන කුමාරසිංහ සිරිසේන මහතා ඊයේ එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙම නව පත් කිරිම සඳහා සැලසුම් කෙරී ඇත.

නිමල් පෙරේරා මහතා මීට පෙර 2012 – 2015 කාලයේදී නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

2014 වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමක් සිදු කළ අතර එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය.

නිමල් පෙරේරා මහතාගේ එම සභාපතිධුර කාලය යටතේ කොළඹ කොටුවේ ලේක් හවුස් අසල (ආන්දෝලනාත්මක) ක්‍රිෂ් ව්‍යාපෘතිය, කොට්ටාව අධිවේගී නගරය, නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිය, බ්‍රවුන්ස් සමාගම පිටකොටුවේ ඉදිකිරීමට සැලසුම් කර ඇති හෝටල් ව්‍යාපෘතිය ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් රැසක්ම ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් 2015 මහ මැතිවරණයෙන් සිදුවුණු ආණ්ඩු මාරුවෙන් පසුව මෙම සැලසුම් සියල්ල ඇණ හිටි අතර, නිමල් පෙරේරා මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සිටි සමයේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් පත් වූ රජය පරීක්ෂණ ආරම්භ කරන්නටද විය.

මේ අතරම 2018 වසරේ ඔක්තෝබර් 26 වැනිදා සිදුවුණු දේශපාලන පෙරළියෙන් පසුව පත් වුණු දින 51 නව රජය යටතේද නිමල් පෙරේරා මහතා රාජ්‍ය ආයතන දෙකක සභාපතිවරයා විය. ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එම ආයතන දෙක විය.

නොවැම්බර් 16 වැනිදා පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ නව රජයක් පිහිටුවීමෙන් අනතුරුව එතෙක් රජයේ ආයතනවල ප්‍රධාන ධුර දැරෑ සියලු දෙනාට ඉවත්වන ලෙස පැවසුවද ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කුමාරසිංහ සිරිසේන මහතා ඊයේ වන තුරුම එම ධුරයේ රැඳී සිටියේය. 

ඒ අනුව ඔහු දින 50කට අධික කාලයක් එම ධුරයේ රැඳී සිට ඇත.

එම කාලසිමාව තුළදී ඔහුගේ මාසික වැටුප සම්බන්ධයෙන්ද යම් ආන්දෝලනයක් ඇති විය. ඒ වන විට ටෙලිකොම් සභාපතිවරයා වෙත මාසයකට රුපියල් ලක්ෂ 25ක වැටුපත් හිමි වූ බවට අනාවරණය වීම ඊට හේතු විය. 

කෙසේ වෙතත් ජනපති නියමයෙන් එය ලක්ෂ දෙකහමාරක් දක්වා අඩු කිරීමට පියවර ගැනුණි. 

ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම්හි නව සභාපතිවරයාට සේවය කිරීමට සිදුවන්නේ ලක්ෂ 2.5ක මාසික වැටුපකටය.

Visits: 16

Leave a Reply

Your email address will not be published. Required fields are marked *