ජනපති ගෝඨාභය වෙනුවෙන් ජාතික භෞතික සැලැස්ම වෙනස් කිරීමට යයි…

ශ්‍රී ලංකාවේ ජාතික භෞතික සැලැසුම (National Physical Plan) යාවත්කාලීන කිරිම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙයි. 

අද පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේදී මේ කරුණු හෙළිදරව් කෙරිණි. 

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘රට හදන සෞභාග්‍යයේ නව දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යෝජිත ප්‍රතිපත්තිමය අංග ඒකාබද්ධ කිරීම සඳහා මෙලෙස ජාතික භෞතික සැලැස්ම යාවත් කාලීන කිරිමට තීරණය වී තිබේ. 

එහිදී එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ජාතික අවකාශ (National Spatial System) භාවිතයේ නව ප්‍රවේශය අනුව මෙම නව අංග ඒකාබද්ධ කෙරෙන බව සඳහන් වෙයි. 

“සංවර්ධන කටයුතු හා සම්බන්ධ සියලු ආයතනවලට රටේ භෞතික පරිසරය කෙරෙහි ඍජුවම බලපාන සංවර්ධන කටයුතු සැලසුම් කිරිම හා ක්‍රියාත්මක කිරීම සඳහාත්, භෞතික පරිසරය සංවර්ධනය කිරිමට අනුශාංගිකව අවකාශය, පහසුකම් හා සේවා ආශ්‍රිත යටිතල පහසුකම් ස්ථාපනය කිරිම සඳහාත් ජාතික මට්ටමෙන් මග පෙන්වීම පිණිස පුළුල් රාමුවක් සැපයීම මෙහි අරමුණ වී තිබේ.” කැබිනට් තීරණයේ එලෙස සඳහන් වෙයි.

එසේම වසර 2030 වන විට ශ්‍රී ලංකාව සුහුරු ජාතියක් සහ තරගකාරී ආර්ථිකයක් බවට පත් කිරිමට සහ ඉන්පසු එම තත්ත්වය පවත්වාගෙන යාමට පහසුකම් සලසන භෞතික පරිසරයක් වෙනුවෙන් සැලසුම් සකස් කිරිමද මෙම කාර්යයේ මූලික අරමුණු වන බව රජය පවසයි.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව හරහා මෙම මෙම ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලසුම වසර 2050 ඉලක්ක කරගනිමින් සකස් කෙරුණකි. 

පැවැති යහපාලන රජයේ මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ එම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක විය. මෙම සැලසුමේ අවසන් යාවත්කාලීන කිරීම 2018 අගෝස්තු මාසයේදී සිදුව තිබේ. 

කෙසේ වෙතත් මෙලෙස ජාතික භෞතික සැලැස්ම නමින් සැලසුමක් පළමුවරට ඉදිරිපත් කෙරුණේ 2011 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේය. එහිදී 2011 – 2030 ඉලක්ක කරගනිමින් එය සකස් කෙරිණි. 

එහෙත් පසුව බලයට පත් වුණු යහපාලන රජය එම සැලැස්මේ තිබූ යල්පැනගිය ජාතික සහ ජාත්‍යන්තර සංවර්ධන කාරණා ඉවත් කරමින් යළිත් 2017 වසරේදී එය යාවත්කාලීන කිරිමට කටයුතු යොදන බව පැවසීය. 

ඒ අනුව 2018 – 2050 වන ලෙස අලුතින් සැකසූ මෙම ජාතික භෞතික සැලැස්ම වෙත 2017 වසරේදී කැබිනට් අනුමැතිය හිමි විය. මහා නගර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූයේ එම සැලසුමයි. 

මෙම අවසන් යාවත්කාලීන කිරිම ඇතුළත් ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය ප්‍රධාන කොටස් හතරකින් යුක්ත වෙයි. 

සංවේදී පරිසර කලාපයන් හා භූමියේ අනන්‍යතාව සංරක්ෂණය කිරීම, මිනිසුන්ට ජීවත්වීමට සුදුසු පරිදි පරිසරය සංවර්ධනය කිරීම, පවතින සම්පත්වල ප්‍රශස්ත උපයෝගීතාවය සහ සම්පත් විභවතාවයන් ගවේෂණය හා නගා සිටුවීම එම කරුණු හතර වෙයි.

මෙම ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය සකස් කරන ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත්තේ 2001 වසරේදී එවකට පැවැති නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ මහජන උපයෝගීතා අමාත්‍යාංශය යටතේය. 

ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තියක් සැකසිම හා ක්‍රියාත්මක කිරිමට බලය පැවරීම එම දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය විය.

Visits: 222

Leave a Reply

Your email address will not be published. Required fields are marked *