අකිල කුලියාපිටියට රැගෙන ගිය ජාතික පරිගණක මධ්‍යස්ථානය ඩලස් හෝමාගමට ගලවා ගෙන එයි…

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටියේදී ඉදිකිරීමට සැලසුම් කර තිබූ ජාතික මට්ටමේ විෂයානුබද්ධ අන්තර්ගත / මෘදුකාංග හා පරිගණක යෙදවුම් තාක්ෂණ මධ්‍යස්ථානය (National level software and computer application centre) හෝමාගම පිටිපනදී ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. 

පසුගිය ජනවාරි 03 දා නිවේදනය කෙරුණු කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේදී මේ පිළිබඳ කරුණු අනාවරණය කෙරිණි.

කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාරංගල්ල වත්ත භූමියෙහි මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා පෙර පැවැති රජයේ අමාත්‍ය මණ්ඩලය මගින් අනුමැතිය ලබා දී තිබුණි. 

පාසල්වල තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය හා අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය භාවිතය විධිමත් කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය ඉදිකිරිම අපේක්ෂාව විය. 

හිටපු අධ්‍යාපන අමාත්‍ය, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාගේ යෝජනාවක් වූ මෙය 2018 ජූනි මාසයේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් මෙම මධ්‍යස්ථානය කොළඹ සිට කිලෝමීටර් 90ක් පමණ දුරින් පැවතීමත්, එවැනි දුර බැහැර ස්ථානයක එම මධ්‍යස්ථානය පිහිටුවීම මගින් පැන නැගිය හැකි ප්‍රායෝගික දුෂ්කරතාත් සැලකිල්ලට ගෙන එය එහි ඉදි නොකරන බව වත්මන් රජය පවසයි. 

ඒ අනුව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපනදී මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වත්මන් අධ්‍යාපන, තරුණ කටයුතු සහ ක්‍රීඩා පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම යෝජනාවට අමතරව තොරතුරු තාක්ෂණය හා අදාළ තවත් යෝජනා දෙකක්ද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි. 

ඒ සියල්ල සමගින් මෙම සමස්ත ව්‍යාපෘතිය වෙත වැය වෙතැයි ගණන් බලා තිබූ මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 56.9 කි. 

මේ සඳහා අරමුදල් සම්පාදනය ආර්ථික සංවර්ධන සහයෝගිතාව හරහා කොරියාවේ එක්සිම් බැංකුවෙන් සහ අබු ඩාබි ෆන්ඩ් අරමුදලෙන් ලබා දීමට නියමිතව තිබුණි.

Visits: 42

Leave a Reply

Your email address will not be published. Required fields are marked *