සිල්රෙදි නඩුව, කැරම් බෝඩ් නඩුවල විත්තිය සඳහා පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ රත්වත්තේ BOC සභාපති පුටුවේ වැඩ භාරගනී

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස තේරී පත්ව සිටි ජ්‍යෙෂ්ට නීතීඥ කාංචන රත්වත්තේ මහතා අද පෙරවරුවේදී එම බැංකුවේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගැනීම සිදු විය. 

කොළඹ කොටුවේ පිහිටි ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේදී එම අවස්ථාව සංවිධානය වී තිබේ.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නීතීඥ කාංචන රත්වත්තේ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතීඥ උපාධිය හිමි කර‍ගෙන තිබේ. 

මීට පෙර ඔහු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. 

එසේම ඔහු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාද විය. 

මීට අමතරව රාජ්‍ය ආයතනවල වානිජ සහ පරිපාලන අංශයේ අත්දැකීම් රැසක් ඇති රත්වත්තේ මහතා, තොරතුරු තාක්ෂණ, මෘදුකාංග නිර්මාණ, රක්ෂණ සහ සුරැකුම් යන ක්ෂේත්‍රවලින් පෞද්ගලික අංශයේ ආයතන කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරන බවත් ලංකා බැංකුව පවසයි.

මෙරට සිටින ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු ලෙස ඔහු පසුගිය කාලසීමාවේදී කතා බහට ලක් වූ විවිධ නඩු කිහිපයක් සඳහාම පෙනී සිට ඇත. 

ඒ අතරින් යහපාලන රජය සමයේදී ගොනු කෙරුණු සිල් රෙදි නඩුව සහ කැරම් බෝඩ් නඩුව ලෙස ප්‍රකට නඩු විභාග වල විත්ති පාර්ශ්වයේ නීතීඥවරයෙකු ලෙසද ඔහු පෙනී සිටි බව ඒ පිළිබඳ මාධ්‍ය වාර්තා පවසයි. 

එහිදී සිල් රෙදි නඩුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා වූ ලලිත් වීරතුංගට එරෙහිව පවරා තිබූ අතර, කැරම් බෝඩ් නඩුව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා තිබුණි.

මෙම නඩු දෙකේදී ලලිත් වීරතුංග මහතාට ඇප ලබා දීමටත්, මහින්දානන්ද අලුත්ගමගේ මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටත් අධිකරණය මගින් පියවර ගැනුණි.

මීට අමතරව මෙරට නොරොච්චෝලේ පිහිටි ලක්විජය විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේ සිදුවීමකදී ලංකා විදුලි බල මණ්ඩලය වෙත රුපියල් මිලියන 1,536ක අලාභයක් සිදු කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත් වුණු ලංකා ගල් අගුරු සමාගමේ (පෞද්ගලික) අධ්‍යක්ෂවරුන් සිව් දෙනා අතරද කාංචන රත්වත්තේ මහතා විය.

එහෙත් ඔවුන්ට එරෙහිව චෝදනා ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව එම නඩුව විභාග කළ මහේස්ත්‍රාත්වරයා තීන්දු කර තිබුණි.

Visits: 32

Leave a Reply

Your email address will not be published. Required fields are marked *