2020 වර්ෂය වෙනුවෙන් මුද්දර කාර්යාංශයෙන් විශේෂිත මුද්දරයක්

2020 වර්ෂය වෙනුවෙන් මුද්දර කාර්යාංශයෙන් විශේෂිත මුද්දරයක්

2020 වර්ෂය වෙනුවෙන් හෙට දිනයේදී විශේෂිත මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා තිබේ. ඒ අනුව 2020.02.20 රාත්‍රී 20.20 යි තත්පර 20 ට කොළඹ 01, ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී මෙම මුද්දරය නිකුත් කෙරෙන බව කාර්යාංශය පවසයි. 

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මුද්දරය එළිදැක්වීමට කටයුතු යොදා තිබේ. හරිත ලෝකයක් අපේක්ෂාවෙන් 2020 වසරේ සිට රට තුළ ගොඩනැගෙන තිරසර සංවර්ධනය මෙම මුද්දරය තුළින් ලොවට ගෙන යාම තැපැල් දෙපාර්තමේන්තුවේ අදහස බව මුද්දර කාර්යාංශය පවසයි. 

මීට අමතරව සිරිලක ගී කෙත පෝෂණය කළ අසහාය ගායක අල්හාජ් මොහිදීන් බෙග් මහතා වෙනුවෙන් සැමරුම් මුද්දරයක්ද එදිනදී නිකුත් කෙරෙන බව කාර්යාංශය සඳහන් කරයි.

මෙම වැඩසටහන් සියල්ලට සමගාමීව 2020 වසරේ ප්‍රථම කොළඹ මුද්දර දැක්ම හා ප්‍රදර්ශනය පෙබරවාර් 20 සිට 23 දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දෙස් විදෙස් මුද්දර, මුල්දින කවර, සිහිවටන පත්‍රිකා, කාසි, නෝට්ටු ආදී බොහෝ දෑ දැක බලා ගැනීමට මෙන්ම මිලදී ගැනීමටද මුද්දර ලෝලීන්ට මෙහිදී අවස්ථාව හිමි වන බව මුද්දර කාර්යාංශය සඳහන් කරයි. 

Visits: 37

Leave a Reply

Your email address will not be published. Required fields are marked *