සුරැකුම්පත් සහ විනිමය කොමිෂමේ නව සභාපති තැරැව් ප්‍රධානීන් හමුවීම 25 වැනිදා

සුරැකුම්පත් සහ විනිමය කොමිෂමේ නව සභාපති තැරැව් සමාගම්හි ප්‍රධානීන් හමුවීම 25 වැනිදා

සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාවේ (SEC) නව සභාපති නීතීඥ විරාජ් දයාරත්න මහතා සහ එම කොමිෂන් සභාවේ සාමාජිකයන් එක්ව කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරීන් හා සිදු කරන හමුව ලබන පෙබරවාරි 25 වැනිදා පැවැත්වෙන බව එම කොමිෂන් සභාව නිවේදනයක් මගින් සඳහන් කරයි. 

මීට පෙර මෙම හමුව හෙට (පෙබරවාරි 20) දිනයට යෙදී තිබුණද පසුව එය 25 වැනිදා දක්වා කල් ගොස් තිබේ. මෙහිදී කොමිෂන් සභාව නියෝජනය කරමින් සභාපතිවරයා සහ එහි කමිටු සාමාජිකයන් වන මනිල් ජයසිංහ, නරේෂ් අබේසේකර සහ සුනිල් ලංකාතිලක යන මහත්වරුන් සහභාගිවීමට නියමිතව ඇතැයිද නිවේදනයේ සඳහන් වෙයි.  

මේ අතර, දයාරත්න මහතා අද දිනයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළේ සභාපති රේ අබේවර්ධන, එහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක සහ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන යන මහත්වරුන් ඇතුළුව එහි අනෙකුත් ජ්‍යෙෂ්ට කළමනාකරුවන් හමුවුණු බවද එහි සඳහන් කෙරී ඇත.

“මෙරට කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම්හි ප්‍රධානීන් කණ්ඩායම් සමගින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානීන් සිදුකරන හමුව හරහා මෙරට ප්‍රාග්ධන වෙළෙඳ පොළ තවදුරටත් සංවර්ධනයට මෙන්ම නියාමන ක්‍රියාරාමුව සකස් කිරිමට අදාළ කරුණු සාකච්ඡාවට ගනු ඇත.” කොමිෂන් සභාව පවසයි.

මීට අමතරව ඉදිරි සතිවලදී ලැයිස්තුගත සමාගම්, ඒකක භාර කළමනාකාර සමාගම්, ආයෝජන කළමනාකරුවන්, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ඇතුළු සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට සහ කොටස් වෙළෙඳ පොළට අදාළ ආයතන ප්‍රධානීන් හමුවීමටද සභාපතිවරයා කටයුතු යොදා තිබේ.

Visits: 34

Leave a Reply

Your email address will not be published. Required fields are marked *