විදෙස් සංචාරකයන් සහ ආයෝජකයන් මෙරටදී මුහුණ දෙන ගැටලු ගැන ජර්මානු තානාපති ඇමතිට පවසයි

විදෙස් සංචාරකයන් සහ ආයෝජකයන් මෙරටදී මුහුණ දෙන ගැටලු ගැන ජර්මානු තානාපති ඇමතිට පවසයි

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් සහ ආයෝජකයන් මුහුණ දෙන ගැටලු කිහිපයක් පවතින බව ජර්මානු තානාපති ජෝර්න් රොහෙඩ් මහතා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත කරුණු දක්වා තිබේ.

පසුගියදා එම අමාත්‍යාංශයේදී එම දෙපළ හමුවූ අවස්ථාවේදී තානාපතිවරයා මෙම ගැටලු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අමාත්‍යවරයා, මූලිකවම සංචාරක කලාප ආශ්‍රිතව යටිතල පහසුකම් නංවාලීම මෙන්ම සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරුවීමද වැදගත් විය යුතු බවට තම රජය දැනටමත් හඳුනාගෙන ඇතැයි තානාපතිවරයා වෙත පවසා කර තිබේ.

මෙරට සංචාරක හා ආයෝජන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා වන එකඟතාවක් වෙනුවෙන් ඔවුන් දෙදෙනා මෙලෙස හමුවී තිබේ.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය හා මෙරට ජර්මානු තානාපති කාර්යාලය එක්ව මෙම ඒකාබද්ධ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජර්මානු තානාපතිවරයා, මෙරට සංචාරක හා ආයෝජන ක්ෂේත්‍රයන්ට වැඩි දායකත්වයක් දැක්වීමට ජර්මනිය කැමැත්තෙන් සිටින බවත්, ඒ සඳහා එරට සංචාරක නියෝජිත ආයතන හා  ආයෝජකයන් සහ මෙරට බලධාරීන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹීමට සූදානම් බවත් පවසා ඇත.

“ජර්මානු සංචාරකයන් මෙරට සුන්දර වෙරළ ආශ්‍රිත සංචාරයට වගේම මෙරට සංස්කෘතික හා පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන නැරඹීමටද කැමැත්තක් දක්වනවා. ඒ වගේම ජර්මානු ආයෝජකයන්ද මෙරට නව කර්මාන්තශාලා ඇරඹීමේ අපේක්ෂාවෙන් සිටිනවා.” යනුවෙන් තානාපතිවරයා පවසා තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද, ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ලොව පුරා පුචලිත කිරීමට අපේක්ෂා කරන බව පවසා ඇත. ඒ හරහා වසර 2025 වන විට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 7ක් දක්වා ඉහළ නංවාගැනීම අරමුණ බවත් පවසා ඇත.

“මේ සඳහා ලොව පුරා සංචාරකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩසටහන් රැසක් සැලසුම් කර තිබෙනවා. නවීන ඩිජිටල් තාක්ෂණය හා නව සන්නිවේදන ප්‍රවණතා හඳුනාගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මුලින්ම ජර්මනිය, ප්‍රංශය, රුසියාව, චීනය හා ඉන්දියාව වැනි රටවල් කේන්ද්‍ර කරගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම අපේක්ෂාවයි.” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

Visits: 29

Leave a Reply

Your email address will not be published. Required fields are marked *