ද ෆිනෑන්ස් අර්බුදයට මහ බැංකුව ඍජුවම වගකිව යුතුයි – ද ෆිනෑන්ස් සේවක සංගමය සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය

ද ෆිනෑන්ස් අර්බුදයට මහ බැංකුව ඍජුවම වගකිව යුතුයි – ද ෆිනෑන්ස් සේවක සංගමය සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය 

අද වන විට අර්බුදයට ලක්ව ඇති ද ෆිනෑන්ස් සමාගමේ පසුගිය වසර 10 සඳහා අධ්‍යක්ෂවරුන් පත් කරන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අභිමතය පරිදි වන බවත්, එම අධ්‍යක්ෂවරුන්ගේ තීරණ මත ආයතනය ගමන් කළ නිසාත්, සියලු වාර්තා ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් නිරන්තරයෙන් පරීක්ෂා කිරීම් සිදු කළ නිසාත් සමාගමේ බිඳ වැටීමට මහ බැංකුව ඍජුවම වගකිව යුතු බව “ද ෆිනෑන්ස් සමාගම සුරැකීමේ සේවක සංගමය” සහ “ද ෆිනෑන්ස් තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය” අවධාරණය කර සිටියි. 

මෙම සංගම් දෙක ඊයේ (12දා) දහවල් පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී මේ කරුණු අනාවරණය කෙරිණි.

අර්බුදයට ලක්ව ඇති ද ෆිනෑන්ස් ආයතනය වසා දැමීමෙන් තැන්පත්කරුවන්ට 94%ක මුදල් ගෙවා ඔවුන්ට උදව් කළ හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව අදහස් දක්වමින් එම සංගමය සහ සංවිධානය මෙම කරුණු සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 10කට ආසන්න කාලයක් පරිපාලන කටයුතු පවත්වාගෙන යන ලද “ද ෆිනෑන්ස්” ආයතනය වසා දැමීමට යෝජනා කිරීම අසාධාරණ බව ඔවුන් අවධාරණය කරයි.

ඒ අනුව, මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම තැන්පත්කරුවන් මුලා කිරීමක් බව පෙන්වා දෙන එම සංගම්, සමාගමේ සම්පූර්ණ තැන්පතු වගකීම රුපියල් බිලියන 26ක් වන බවත්, ඉන් රක්ෂණය තුළින් ආවරණය වන්නේ රුපියල් බිලියන 11 ක තැන්පතු පමණක් බවත් සඳහන් කරයි. එහිදී රුපියල් බිලියන 15ක තැන්පතු හිඟ ගෙවීමට අනිවාර්යයෙන්ම ආයතනයේ දේපළ විකිණිය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

ආයතනය වසා දැමීමට තිබුණේ නම් 2009 වසරේදී ශුද්ධ වත්කම් ධන අගයක්ව තිබුණු මොහොතේදී එසේ කළ යුතුව තිබූ බවත් ඔවුන් පෙන්වා දෙයි.

“එහෙම වුණා නම් තැන්පත්කරුවන්ට සම්පූර්ණ මුදල් ගෙවා කොටස් හිමියන්ටද මුදල් ප්‍රමාණයක් ගෙවීමට හැකියාව තිබුණා. මහ බැංකුව නිසි අවස්ථාවේ නිවැරදි තීරණ නොගැනීම අහිංසක තැන්පත්කරුවන්ගේ තැන්පතුවලින් වන්දි ගෙවීමට සිදුවීම ඉතාමත් අසාධාරණයි.” ඔවුන් පවසා සිටියි.

ඒ අනුව, ද ෆිනෑන්ස් සමාගමේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කර අසාධාරණයට පත්ව සිටින තැන්පත්කරුවන් එම අසරණභාවයෙන් මුදවා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් මෙන්ම අගමැතිවරයාගෙන්ද ඉල්ලා සිටින බව “ද ෆිනෑන්ස් සමාගම සුරැකීමේ සේවක සංගමය” සහ “ද ෆිනෑන්ස් තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය” මෙහිදී පවසා සිටියි.

මේ අතර, ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගම් 42න් 20ක් දැඩි ලෙස මූල්‍ය අර්බුදයක පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පළ කළ අදහස සම්බන්දයෙන්ද කරුණු දක්වා සිටින මෙම පිරිස, එසේ නම් එම ආයතන මොනවාද, නොදැන තැන්පත්කරුවන් ඔවුන්ගේ තැන්පතු සියලු මූල්‍ය සමාගම්වලින් ඉවත්කර ගනිමින් සිටින බවත් පවසා සිටියි.

“මේ වගේ අවස්ථාවලදී සමස්ථ මූල්‍ය වෙළෙඳ පොළම බිඳ වැටීම නොවැළැක්විය හැකියි. එමගින් සමස්ත ආර්ථිකයට සිදුවන හානිය නොවැළැක්විය හැකියි. මෙසේ මහ බැංකුවේ ඉහළ වගකීම් දරණ නිලධාරීන් වගකීම් විරහිත ප්‍රකාශ පිළිබඳ අප කණගාටුවෙමු.” යනුවෙන්ද ඔවුන් සඳහන් කරයි.

පෙර ලිපිය ද ෆිනෑන්ස් බලපත්‍රය අහෝසි කිරීම වඩාත් සාර්ථකම ක්‍රමයයි – මහ බැංකුව

Visits: 156

Leave a Reply

Your email address will not be published. Required fields are marked *