ඩුබායි එක්ස්පෝ 2020 යාමට රජය තීරණය කරයි

ඩුබායි එක්ස්පෝ 2020 යාමට රජය තීරණය කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලබන ඔක්තොබර් මාසයේ 20 වැනිදා ආරම්භ වන “එක්ස්පෝ ඩුබායි 2020” ප්‍රදර්ශනය සඳහා සහභාගි වීමට රජය තීරණය කර තිබේ. මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඊට සහභාගි වන බව රජය පවසයි. 

මෙම ප්‍රදර්ශනය ලබන වසරේ අප්‍රේල් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. මෙම සහභාගීවීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සැලසුම වී තිබේ. 

මෙම “එක්ස්පෝ ඩුබායි 2020” ප්‍රදර්ශනය සඳහා මාස හයක කාලයක් සහභාගි වීම වෙනුවෙන් වන මුදල් වෙන් කිරීම පිළිබඳ ගැටලුවක් පැවතීම නිසා ඊට සහභාගිවීම පිළිබඳව කතාබහක් පැවැති බව වාර්තා සඳහන් කරයි. පසුගිය නොවැම්බර් මාසය වනවිට ඊට අදාළ අයවැය සකස් කෙරී තිබුණු අතර ඊට අනුමැතිය ලබාදීම ජනවාරි මාසය දක්වා කල්යාම නිසා ශ්‍රී ලංකාවේ සහභාගිත්වය ස්ථිර කිරීම මෙලෙස කල් ගොස් තිබුණි. එසේම සංචාරක සංවර්ධන අධිකාරිය ඊට සම්බන්ධවීමට අදිමදි කළ බවත් පැවසුණි.

කෙසේ වෙතත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකාව එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනයට සහභාගි වීම පිළිබඳ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

මෙම හමුව සඳහා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම් මාතා පතිරණ, සංචාරක ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් මරීනා මොහොමඩ්, සංචාරක සංවර්ධන අධිකාරියේ කිමාලි ප්‍රනාන්දු, අපනයන සංවරධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ, අධ්‍යක්ෂ ජනරාල් ජීවනී සිරිවර්ධන යන මහත්ම මහත්මීන් එක්ව තිබේ.

වසර පහකට වරක් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වන ලෙස සංවිධායකයන් විසින් ශ්‍රී ලංකාව වෙත ආරාධනා කරන ලද්දේ පසුගිය රජය සමයේදීය. එහිදී ශ්‍රී ලංකාව වෙත ප්‍රදර්ශන කුටියක් ලබා දී තිබූ අතර එය කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරව පිරිනමා තිබූ බවට එවකට අපනයන සංවර්ධන මණ්ඩල සභාපතිනිය වූ ඉන්දිරා මල්වත්ත මහත්මිය පවසා සිටියාය. එම කුටියක සාමාන්‍ය වටිනාකම රුපියල් මිලියන 600 කි. 

රටවල් 190ක ප්‍රදර්ශකයන් සහභාගි වන, ලක්ෂ 250කට අධික නරඹන්නන්  පැමිණෙන මෙම අවස්ථාව හරහා මෙරටට ඍජු විදෙස් ආයෝජන ආකර්ෂණය අරමුණ විය. ඒ අනුව “එක්ස්පෝ ඩුබායි 2020” ප්‍රදර්ශනයට සහභාගි වන බවට වන කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම 2019 වසරේ ජූලි මාසයේ ඩුබායිහිදී සිදුවිය. 

ඊට සහභාගි වූ ශ්‍රී ලාංකික නියෝජිතයන් ප්‍රදර්ශනය වෙනුවෙන් ඉදිවෙන පරිශ්‍රය මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටියද නරඹා තිබුණි. එසේම www.expo2020srilanka.lk ලෙස මෙම ප්‍රදර්ශනය ඉලක්ක කරගනිමින් 2019 ඔක්තෝබර් මාසයේදී නව වෙබ් අඩවියක්ද දියත් කෙරිණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය “ජලය” තේමා කරගනිමින් නිර්මාණයට යෝජනා වී තිබුණු අතර, මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊට දායක විය. එහිදීද මෙම ප්‍රදර්ශනයේ සංවිධායකයන් පැවැත්වූ තරගයක් ජයගැනීම නිසා එම කණ්ඩායමට රුපියල් මිලියන 700ක මුදල් ත්‍යාගයක් හිමිව තිබුණි. 

එසේම ප්‍රවීණ සූපවේදී පීටර් කුරුවිට සහ ක්‍රිකට් ක්‍රීඩක දෙපළක් වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන එහි සන්නාම තානාපතිවරුන් ලෙස ප්‍රවර්ධන කටයුතු සඳහාද එක් කර ගැනීමට මෙරට සංවිධායකයන් පියවර ගත්තේය.

මෙම කටයුතු සාර්ථක කරගැනීම සඳහා පසුගිය රජය යටතේ ආයෝජන සංවර්ධන මණ්ඩලයේ  ප්‍රධානත්වයෙන් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සහභාගිත්වය සහිතව උපකමිටු හයක් පිහිටුවීමත් සිදුවිය. ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙම ප්‍රදර්ශන කලාපයේ ඉඩ පවා වෙන් කර ගෙන තිබුණි. එසේම පෞද්ගලික අංශයේ නියෝජනය ලෙස අපනයකරුවන්ගේ ජාතික මණ්ඩලය අපනයනකරුවන් 20 දෙනෙකු ඊට සහභාගි කරවීම ස්ථිර කර තිබුණි.කෙසේ වෙතත් පසුගියදා පැවැති මෙම සාකච්ඡාව යටතේ “එක්ස්පෝ ඩුබායි 2020” ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන සියලු වැඩසටහන් රජයේ වැඩසටහන් ලෙස ඉදිරිපත් කිරීමට තීරණය වී තිබේ. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය, කාර්මික අපනයන හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම යන කරුණු කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබේ. එසේම ඒ සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත් ඔහු උපදෙස් දී ඇත.

Visits: 54

Leave a Reply

Your email address will not be published. Required fields are marked *