හිටපු ජනපතිගේ සහෝදරයා දැරෑ තවත් සභාපති ධුරයකින් ඉවත් වෙයි…

E-channeling PLC හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ සභාපතිවරයා ලෙස කටයුතු කළ පල්ලෙවත්ත ගමරාලලාගේ කුමාරසිංහ සිරිසේන මහතා 2020 ජනවාරි 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත්ව ඇතැයි E-channeling PLC සමාගම පවසයි.

කුමාරසිංහ සිරිසේන මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකුද වෙයි. 

2015 වසරේ සිට ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේද කුමාරසිංහ සිරිසේන මහතාය.

දුරකතනය හරහා විශේෂඥ වෛද්‍යවරුන් වෙන්කරවා ගැනීමේ පහසුකම (E-channeling සේවාව) ලබා දෙන සමාගමක් ලෙස මෙම E-channeling PLC සමාගම ක්‍රියා කරයි. 

2001 වසරේදී Millennium IT සමාගම මගින් ආරම්භ කරන ලද මෙම E-channeling PLC සමාගම පසුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අනුබද්ධ මොබිටෙල් (පෞද්ගලික) සමාගම යටතේ ක්‍රියාත්මක පරිපාලිත සමාගමක් බවට පත්විය. 

ශ්‍රී ලංකා ටෙලිකොම්හි සභාපතිවරයා ලෙස කටයුතු කළ කුමාරසිංහ මහතා E-channeling PLC සමාගමේ සභාපතිවරයා බවට පත් වූයේ එම සම්බන්ධතාව අනුවයි. එහෙත් පසුගියදා කුමාරසිංහ සිරිසේන මහතා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත් විය.

ගෙවුණු කාලසීමාව තුළදී E-channeling PLC සමාගම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මෘදුකාංග සංවර්ධනයේ සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණික සේවා සම්පාදනයේ මුල් තැනක් හිමි කරගැනීමට සමත්ව තිබුණි.

එසේම කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තු ගත වුණු සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොනික වාණිජ්‍ය පදනම් කරගත් ශ්‍රී ලංකාවේ පළමු සමාගම බවට පත්වූයේද E-channeling PLC සමාගමයි. 

අද වනවිට E-channeling සන්නාමය ශ්‍රී ලංකාවේ මුල් පෙළේ සන්නාම 100 අතරටද පත්ව තිබේ.

එම සමාගම පවසන ආකාරයට මෙම E-channeling සේවාව මෙරට සියලුම සන්නිවේදන ජාල හරහා ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. 

දුරකතනය හරහා අංක 225 ඇමතීමෙන් මෙම සේවාව ලබා ගත හැකිය. එසේම රට පුරා පිළිගත් රෝහල් 200 කට අධික සංඛ්‍යාවක්, වෛද්‍යවරුන් 5,000කට අධික සංඛ්‍යාවක් මෙම E-channeling සේවාව හා සම්බන්ධව සිටියි.

Visits: 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *