දෙරණේ ‘Pulse’ සිංහලෙන් ‘ගැස්ම’ වෙයි…

දෙරණ මැක්රෝඑන්ටර්ටේන්මන්ට් (පෞද්) සමාගම මෙරට නවතම විනෝදාස්වාදන සහ ජීවනවිලාසිතා පිළිබඳ තොරතුරු ගෙන එන වෙබ් අඩවියක් ලෙස පවත්වාගෙන යන www.pulse.lk හි සිංහල භාෂා වෙබ් අඩවිය www.gasma.lk නමින් ඉදිරිපත් වී තිබේ.

මේ පිළිබඳව වන පුවත්පත් දැන්වීම අද පළ කෙරුණු දෙරණ මැක්රෝඑන්ටර්ටේන්මන්ට් ආයතනයේම සහෝදර සමාගමක් වන ලිබර්ටි පබ්ලිෂර්ස් (පෞද්) සමාගමේ ඉරිදා සිංහල පුවත්පත වන ‘අරුණ’ පුවත්පතේ ‘පිනිපලස’ අතිරේකයේ පළ කෙරී ඇත.

රස ගැස්ම, හතර වටෙන්, කට ගැස්ම, හදගැස්ම, තිගැස්ම සහ ටෙක්ගුරු ලෙස – ‘ආපනශාලා, කාලීන සිදුවීම්, ආහාර සහ පානවර්ග පිළිබඳ වට්ටෝරු, ජනප්‍රිය චරිත හා සිදු කරන සංවාද සහ කාලීන සිදුවීම් ඇතුළත් වීඩියෝ පට සහ නවතම තාක්ෂණික තොරතුරු’ – යනාදිය ඇතුළත් අංගවලින් මෙම වෙබ් අඩවිය සමන්විත වෙයි.

“ලංකාවේ අපිට, අපේම භාෂාවෙන්, අපේම හැඩයකට නිර්මාණය වුණු Lifestyle වෙබ් අඩවියක් පිළිබඳව තිබුණු අඩුව සම්පූර්ණ කරන්න gasma.lk ආරම්භ වුණා.” වෙබ් අඩවියේ සඳහන් වෙයි.

ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ යූටියුබ් යන සමාජජාල මාධ්‍ය ඔස්සේ ගැස්ම හා සම්බන්ධ විය හැකි බව ‘ගැස්ම’ පවසයි.

දෙරණ මැක්රෝඑන්ටර්ටේන්මන්ට් (පෞද්) සමාගම යටතේ 2015 වසරේදී මෙම www.pulse.lk වෙබ් අඩවිය ආරම්භ විය. #Livingit යන්න එහි පාඨය විය. 

එම වෙබ් අඩවියේ තවත් දිගුවක් ලෙස පසුව pulse ලෙස සඟරාවක් නිකුත් කරන්නටද දෙරණ මැක්රෝඑන්ටර්ටේන්මන්ට් සමාගම කටයුතු යොදා ඇත.

එසේම pulse වෙබ් අඩවිය මගින් ආවරණය කරන විවිධ උත්සව අවස්ථා ADA Derana 24×7 පුවත් නාලිකාව හරහා මෙන්ම ARTtv රූපවාහිනි නාලිකාව හරහාද විකාශය කරයි.

එසේම www.islandpulse.lk ලෙස වෙබ් රේඩියෝවක්ද ඔවුන් පවත්වාගෙන යයි. මුලදී එය pulse වෙබ් අඩවියේ අන්තර්ජාල රේඩියෝව ලෙස දියත් වුවද පසුගිය වසරේ සිට මෙලෙස islandpulse ලෙස වෙනස් විය.

ඒ අනුව මේ වනවිට දෙරණ මැක්රෝඑන්ටර්ටේන්මන්ට් (පෞද්) සමාගමේ pulse සන්නාමය මාධ්‍ය කිහිපයක් ඔස්සේම පාඨකයන්, ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් වෙත සමීප වෙමින් තිබේ. 

එලෙසින්ම www.gasma.lk වෙබ් අඩවියද නුදුරේදීම සිංහල පාඨකයන්, ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් වෙත සමීප වීමේ වැඩි අවස්ථාවක් ඇත.

Visits: 41

Leave a Reply

Your email address will not be published. Required fields are marked *