GSP+ වසර 2023 දක්වා ලබා දෙන බවට යුරෝපා සංගමයෙන් සහතිකයක්…

ශ්‍රී ලංකාවට ලබා දී ඇති GSP+ බදු සහනය වසර 2023 දක්වාම ලබා දෙන බව යුරෝපා සංගමය සඳහන් කරයි. 

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වන නිරීක්ෂණ ක්‍රියාවලිය එලෙසින්ම පවතින බව එම සංගමය සඳහන් කරයි. 

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ එම සංගම් නියෝජිතයන් අතර එම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී එම සංගමයේ ශ්‍රී ලංකා – මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන, වෙළෙඳ හා සන්නිවේදන ප්‍රධානී ත්‍රෝර්ස්ටන් බර්ග්ෆෙඩ් මෙම සහනය ලබා දීම පිළිබඳව කරුණු අනාවරණය කර ඇත.

මෙම GSP (Generalised Scheme of Preferences) නොහොත් වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය සංවර්ධනය වෙමින් පවතින රටවල සිට යුරෝපා සංගමය වෙත භාණ්ඩ අපනයනය කරන අවස්ථාවලදී හඳුන්වාදුන් බදු සහනයකි. 

GSP+ යනු එම සහනය ලබන සංවර්ධනය වෙමින් පවතින රටවලටම ලැබෙන අතිරේක අවස්ථාවකි.

2017 මැයි 19 වැනිදා සිට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට මෙම GSP+ පහසුකම ලබා දී තිබුණි. එකල පැවැති යහපාලන රජය මෙම සහනය යළි අත්පත් කරගැනීම සඳහා හේතු විය. 

මෙම වරණීය බදු සහනය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කර පෙරට වඩා වැඩි රැකියා ප්‍රමාණයක් එරට ජනතාව වෙත බිහි කරගැනීමේ හැකියාව ලැබෙන බව යුරෝපා සංගමය විශ්වාසය පළ කරයි. 

කෙසේ වෙතත් GSP+ ශ්‍රී ලංකාව වෙත ලබා දීම සඳහා මෙරට තුළ මානව සහ කම්කරු අයිතීන් සහ තිරසාර සංවර්ධනයක් සඳහා සිදුකරන කටයුතු සම්බන්ධයෙන් යුරෝපා සංගමය නිරන්තර නිරීක්ෂණයේ යෙදී සිටියි. 

මෙහිදී අදාළ GSP+ සහනය වැඩි වශයෙන්ම උදා වන්නේ මෙරට වැඩිම අපනයනය ආදායමක් හිමිවන ඇගලුම් කර්මාන්තය වෙතයි. 

අද වනවිට මෙම ඇගලුම් කර්මාන්තය මෙරට සමස්ත අපනයනයෙන් 43%ක් පමණ වෙයි. 
පසුගිය වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළදී මෙරට සිදු කළ සමස්ත අපනයන වටිනාකම වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 10.7කින් ඇගලුම් අපනයනය ඩොලර් බිලියන 5.0 කි. 

වාර්තාවලට අනුව මෙරට ඇගලුම් අපනයනයෙන් 60%ක්ම අපනයනය කෙරෙන්නේ යුරෝපා සංගමයේ සාමාජික රටවලටය.

ශ්‍රී ලංකාව – ඉන්දියාවට පසුව යුරෝපා සංගමයේ ආසියාව තුළ දෙවැනි විශාලතම වෙළෙඳ ගනුදෙනුකරුය. 2016 වසරේදී ශ්‍රී ලංකාව සිදු කළ සමස්ත අපනයන්ගෙන් 82%ක්ම සිදු කර තිබුණේ යුරෝපා සංගමය වෙතයි. 

ඒ අතරින්ද 61.9%ක් ඇගලුම් සහ රෙදි පිළි වෙයි. එහිදී වැඩිම අපනයන ප්‍රමාණය සිදු කර ඇත්තේ බ්‍රිතාන්‍යටයි.

එහෙත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණයත් සමගින්ම ඉදිරි කාලයේදී යුරෝපා සංගමයේ GSP+ සහනයේ වාසි ගැටලුකාරී තත්ත්වයට පත්ව තිබේ.

Visits: 161

Leave a Reply

Your email address will not be published. Required fields are marked *