ප්‍රධාන පෙළේ අපනයනකරුවන් 25 දෙනෙකු අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රධානියා හමුවෙයි…

ඉදිරි වසර පහේ දී අපනයන දෙගුණයක් කිරීමට යෝජනාත් ඉදිරිපත් කරයි

මෙරට මුල් පෙළේ අපනයනයකරුවන් 25 දෙනෙකු පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති ප්‍රභාෂ් සුබසිංහ මහතා හමු වුණු බව එම මණ්ඩලය පවසයි.

ප්‍රධාන පෙළේ අපනයන ක්ෂේත්‍ර නියෝජනය වන පරිද්දෙන් ඔවුන් මෙලෙස සභාපතිවරයා හමුවීමට පැමිණ තිබේ. අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී මෙම හමුව සංවිධානය වී ඇත.

එහිදී සභාපතිවරයා ඔවුන් සියලු දෙනාම මෙරට ආර්ථිකය වෙත දක්වන ඉහළ දායකත්වය සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කර තිබේ.

එසේම සුභසිංහ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්වීම් ලැබීම අපනයනකරුවන් තුළ මහත් සතුටට හේතු වූ කරුණක් බවද මෙම අපනයනකරුවන් එහිදී පවසා ඇත.

මෙහිදී අපනයනකරුවන් සිය අපනයන බලාපොරොත්තු මෙන්ම වසර 2020 සඳහා වන අපනයන ප්‍රවණතා පිළිබඳව සභාපතිවරයා දැනුවත් කර තිබේ. 

එසේම රටෙහි අපනයන තවත් වර්ධනය සඳහා රටෙහි ප්‍රතිපත්ති ස්ථාවරත්වය වැදගත් බවද පෙන්වා දී ඇත.

මේ අතරම දැනට පවතින සහ අලුතින් පිවිසෙන නිදහස් වෙළඳ ගිවිසුම් හරහා ලැබෙන වෙළෙඳ පොළ අවස්ථා මෙරට අපනයන වැඩි කිරිමට හේතු වෙනු ඇති බවත් මෙම අපනයනකරුවන් මෙහිදී කරුණු දක්වා තිබේ. 

එසේම පර්යේෂණ සහ සංවර්ධන වෙත වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව, නිෂ්පාදන සඳහා වන නවෝත්පාදන, සන්නාම ආරක්ෂාව, කෘෂිකාර්මික නිෂ්පාදන පිළිබඳ ආරක්ෂාව, ව්‍යාපාර පුළුල් කිරීම සඳහා වන භූමියේ උපයෝජ්‍යතාව යනාදිය ප්‍රධාන බව ඔවුන් පවසා ඇත.

මීට අමතරව මැණික් සහ දියමන්ති කැපීම සහ ඔප දැමීම ඇතුළුව අනෙකුත් අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය පුහුණු සේවකයන්ගේ අවශ්‍යතාවක් මතුව ඇතැයිද අපනයකරුවන් මෙහිදී අපනයන සංවර්ධන මණ්ඩල සභාපති ප්‍රභාෂ් සුබසිංහ මහතා වෙත දන්වා ඇත.

Visits: 26

Leave a Reply

Your email address will not be published. Required fields are marked *