ඛසීම් සුලෙයිමාන්ගේ ඝාතනයෙන් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල සහ රන් මිල ඉහළට

ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානියා සහ ඒ යටතේ ක්‍රියාත්මක කුද්ස් බල ඇණියේ ප්‍රධානියාද වන මේජර් ජනරාල් ඛසීම් සුලෙයිමාන් අද පෙරවරුවේ ඉරාකයේදී ජීවිතක්ෂයට පත්වීම සමග ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල සහ රත්රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. 

මෙම ඝාතනයත් සමග මැදපෙරදිග කලාපයේ ඇති වුණු අස්ථාවරත්වය මීට හේතු වී ඇත.

ඒ අනුව ඊයේ සන්ධ්‍යාවේ එක්සත් ජනපද ඩොලර් 66.25ක්ව පැවැති ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් (BRENT) බොරතෙල් බැරලයක මිල, අද දහවල් වන විට ඩොලර් 68.39ක් දක්වා ඩොලර් 2කට වැඩි අගයකින් ඉහළ යාම සිදු විය. එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොර තෙල් බැරලයක මිලද ඩොලර් 61.18 සිට මේ වනවිට 62.94 දක්වා ඩොලර් 1 ශත 78 කින් ඉහළ නැග ඇත. 

මීට අමතරව ඊයේ දිනය තුළ එක්සත් ජනපද ඩොලර් 1529.00ක්ව පැවැති ලෝක වෙළෙඳ පොළේ රන් අවුන්සයක මිල අද දහවල් වන විට ඩොලර් 1546.00ක අගයකට පත් විය.

ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපොළ අසලදී ඉරාන ප්‍රධානියා ගමන් ගත් මෝටර් රථ පෙළකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මෙලෙස ඔහු ඇතුළු තවත් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. 

මෙම ප්‍රහාරය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුර්ණ අනුදැනුම යටතේ එල්ල කරවූවක් බව පෙන්ටගනය ප්‍රකාශ කර තිබේ.

ඝාතනයට ලක් වූ මේජර් ජනරාල් ඛසීම් සුලෙයිමාන් යටතේ ක්‍රියාත්මක වූ මෙම කුද්ස් බල ඇණිය, ඉරානයේ මැදිහත්වීමෙන් විදේශ රටවල සිදුකරන මෙහෙයුම් සඳහා ඍජුවම සම්බන්ධ වන පිරිස ලෙස සැලකෙයි. 

පසුගියදා ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයට ආයුද සන්නද්ධ පිරිසක් කඩා වැදී සිදු කළ ප්‍රහාරය පිටුපසද මෙම බලඇණිය සිටින බව එක්සත් ජනපදය චෝදනා කරයි. 

එසේම එක්සත් ජනපදයට හිතවත් මැදපෙරදිග පිහිටි රටවලදී එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රහාර එල්ල කිරීම් සම්බන්ධයෙන්ද මෙම බල ඇණිය සම්බන්ධ බව පැවසෙයි.

තමන්ට එල්ල වූ මෙම ප්‍රහාරය අත්හැර දැමීමට ඉරානය කිසි ලෙසකින්වත් නොසිතනු ඇති බවත්, ඒ වෙනුවට කළ හැකි උපරිම පළිගැනීමක් වෙත ඔවුන් යොමු වෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

එහිදී එක්සත් ජනපදය පමණක් නොව මැදපෙරදිග කලාපයේ පිහිටි එක්සත් ජනපද හිතවාදී රාජ්‍යයන්ද මේ මොහොතේදී අවදානමට ලක්ව තිබේ.

ඒ අනුව ඉරානයත් – එක්සත් ජනපදයත් අතර පවතින මෙම මතභේදකාරී තත්ත්වය තවත් දරුණු ලෙස දිග්ගැස්සීම ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල එක්සත් ජනපද ඩොලර් 80ක් දක්වා වැඩි වීමටත් හේතුවක් වෙනු ඇතැයිද වෙළෙඳ පොළ ආරංචි මාර්ග තුළ පුරෝකතනය කෙරී ඇත.

Visits: 29

Leave a Reply

Your email address will not be published. Required fields are marked *