දේශීය දියර කිරි අවශ්‍යතාවයට කෙටි සහ දිගු කාලීන සැලසුම් සඳහා පියවර

දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පවසා තිබේ.

ඒ අනුව තෘණ වගාව, කිරි ගවයන් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩිදියුණු කොට කඩිනමින් ඉලක්ක සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දී ඇත.

“මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවෙන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ 40%කට  අඩු ප්‍රමාණයකි. පෝෂ්‍යදායක නැවුම් දියර කිරි පානය සඳහා ඇති අවස්ථාව මේ නිසා ජනතාවට අහිමි වී තිබේ. ඉදිරි දශකය තුළ දියර කිරි නිෂ්පාදනය නැංවීමට පියවර ගන්නා බව  “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනාධිපතිතුමා ප්‍රතිඥා දී තිබේ.” ජනපති කාර්යාලය පවසයි.

ඒ අනුව රටේ විවිධ ප්‍රදේශවලට ගැළපෙන කිරි ගව ප්‍රභේද හඳුන්වාදීමට අවශ්‍ය පර්යේෂණ පුළුල් කිරීමට රජයේ අපේක්ෂාව වී තිබේ. කිරි නිෂ්පාදනය නැංවීම සඳහා ඉහළ ගුණාත්මක අගයෙන් යුත් තෘණ වර්ග වගා කිරීම සහ  ගව ආහාර නිෂ්පාදනය පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරී ඇත.

පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක
මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමේ සභාපති හැරී ජයවර්ධන

මෙහිදී අදහස් දක්වා ඇති ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා, සමස්ත දියර කිරි නිෂ්පාදනයෙන් 85%ක් කුඩා පරිමාණ කිරි ගොවීන් විසින් සපයන බවත්, ඔවුන් ශක්තිමත් කර  ප්‍රතිශතය වැඩි කිරීමට පියවර ගත යුතු යැයි පවසා ඇත.

එහිදී කිරි ලීටරයක නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් ගොවීහූ අධෛර්මත් වී සිටින බවත්, තෘණ ඇතුළු ගව ආහාර සහන ක්‍රමයකට කිරි ගොවීන්ට සැපයීමේ අවශ්‍යතාවද ඒ මහතා පෙන්වා දී තිබේ. ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයට අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ගොවීන් දිරිමත් කිරීම ආයතනික මට්ටමින් කළ යුතු බවද හෙතෙම පෙන්වා දී තිබේ.

සත්ව ගොවිපොළ ආශ්‍රිත පරිසර ගැටළු විසඳීමට මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත්වීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා එය ගොවියාට බරක් නොකළ යුතු බව අවධාරණය කර තිබේ.

පාරම්පරිකව පවත්වාගෙන යන සත්ව ගොවිපොළ ජනතා පැමිණිලි පදනම් කර ගනිමින් විමර්ශණයකින් තොරව වසා දැමීම නොකළ යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇත.

මේ අතර කිරි නිෂ්පාදන වර්ධනය අරමුණු කොට ගෙන  වතු සමාගම් 15ක් දායක කර ගනිමින් කිරි ගවයන් 15,000ක් ඇති කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සඳහන් කර තිබේ.

අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛිය ආයතනවල ප්‍රධානිහූ සහ පෞද්ගලික ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව ඇත.

ප්‍රධාන ඡායාරූපය – නෙස්ලේ සමාගම

Visits: 93