දේශීය තනි පුද්ගල ආයෝජකයන් අතර කොටස් මිලදී ගැනීම් ඉහළට

පසුගිය සතියේදී කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ පැවැති ධනාත්මක ප්‍රවණතාව තවදුරටත් එලෙසින්ම රැදෙමින් අද දිනයේදී (සැප්තැම්බර් 14) එහි ගනුදෙනු වඩාත් සාර්ථකත්වයක් පෙන්නුම් කෙරිණි. එහිදී විශේෂයෙන්ම රට තුළ විදෙස් සංචිත ඉහළ ගොස් ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා මෙන්ම රට තුළ දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තයක් පිහිටුවීම සඳහා වන රජයේ ඉදිරි දැක්මත් මේ අවස්ථාව සඳහා හේතු වී ඇතැයි කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව දේශීය තනි ආයෝජකයන් තුළ අද දිනයේදී කැපී පෙනෙන කොටස් මිලදී ගැනීමක් මෙන්ම විදේශීය ආයෝජකයන් තුළ බැංකු කොටස් මිලදී ගැනීමක් පිළිබඳ වැඩි කැමැත්තක් යොමු වුණු බවත් මෙම තැරැව්කාර සමාගම් සඳහන් කරයි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,450.59 ත් ඒකක 5,499.46 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,490.60ක් බවට පත්විය. ඒ අනුව පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 11) දිනයට සාපේක්ෂව එය ඒකක 51.69 ක් එනම් 0.95%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදු කළ ගනුදෙනු ලෙස සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, හැටන් නැෂනල් බැංකුව සහ සම්පත් බැංකුව යන සමාගම් සිදු කළ ගනුදෙනු දිනයේ සමස්ත පිරිවැටුමෙන් 5%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 130ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 62ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී  MELS  (+6.70), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+6.58), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+3.75), එක්ස්පෝ ලංකා පීඑල්සී EXPO (+3.15), හැටන් නැෂනල් බැංකුව පීඑල්සී HNB (+2.93), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-2.54), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-1.25),  සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සි CTC (-1.08), ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් පීඑල්සී ASPH (-0.86)  සහ බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-0.68) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,382.77 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 11) දිනයට සාපේක්ෂව ඒකක 23.53 ක එනම් 1.00%ක  ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.29ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා වාර්තා කළ රුපියල් බිලියන 1.64 ට සාපේක්ෂව 39%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.39 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 16.31%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 359.84ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් බිලියන 430.08ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 70.24 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 35.01ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සම්පත් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 149.42කි. එසේම සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 87.75ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 604ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 26% ක අගයක් ගෙන තිබේ. එසේම ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශය සහ බැංකු දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 477ක සහ රුපියල් මිලියන 466ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 200