‘රට පුරාම LANKAQR’ මාතලේදී දියත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට මූල්‍ය ආයතන සමග එක්ව, LANKAQR ගෙවීම් යෙදුම භාවිත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ‘රට පුරාම LANKAQR’ වැඩසටහනේ පළමු අදියර සැප්තැම්බර් 12 වැනිදා ‘මාතලේට LANKAQR’ නමින් දියත් කෙරිණි.

මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලයේදී පැවැත්වුණු මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් මහතා සහභාගි වී තිබේ.

LANKAQR කේත පදනම් කරගත්  ඩිජිටල් ගෙවීම් භාවිතය දිරිමත් කිරීම සහ එමගින් පාරිභෝගිකයාට, ව්‍යාපාරිකයාට සහ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව මහ බැංකුව පවසයි.

ඒ අනුව ‘රටපුරාම LANKAQR’ වැඩසටහනෙහි පළමු නිල LANKAQR ගනුදෙනුව ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් උයන්වත්ත රජමහා විහාරය වෙත LANKAQR කේත භාවිත කරමින් මුදල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.

LANKAQR යනු ඕනෑම වෙළෙඳ ව්‍යාපාරිකයෙකුට, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වියදම අඩුවෙන්, වේගවත්ව සහ ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් ඩිජිටල් ගෙවීම් සඳහා පහසුකම් සපයනු ලබන ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන විසින් ලබා දී ඇති පොදු ක්ෂණික ප්‍රතිචාර කේත ප්‍රමිතියක් බව මහ බැංකුව සඳහන් කරයි.

එමගින් ගනුදෙනුකරුවෙකුට LANKAQR සහිත ජංගම ගෙවීමේ යෙදවුමක් තම ජංගම දුරකතනයට භාගත කිරීම ගනුදෙනුකරුගේ බැංකු ගිණුම යොදා ගෙන ඍජුවම ගෙවීම් සිදු කිරීමට පහසුකම් සලසා ඇත. එම ගෙවීම ව්‍යාපාරිකයන්ගේ බැංකු ගිණුමට ක්ෂණිකවම බැර වෙයි. එහිදී වෙළෙන්දන්ට සිය ව්‍යාපාරික ස්ථානයේ ප්‍රදර්ශනය කිරීම සඳහා LANKAQR මුද්‍රිත ස්ටිකරය LANKAQR හි සාමාජික ආයතන විසින් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ ලබා දෙන බවත් සඳහන් වෙයි.

“LANKAQR භාවිත කර ගෙවීම සඳහා ගනුදෙනුකරු මූල්‍ය ආයතනය විසින් ලබා දී ඇති ජංගම ගෙවීම් යෙදුමක් භාවිත කරමින් LANKAQR කේතය ස්කෑන් කළ යුතු වන අතර, වෙළෙන්දාට ඔහුගේ ගිණුමට මුදල් බැරවීම සහතික කරමින් ක්ෂණික කෙටි පණිවුඩයක්ද ලැබෙයි.” මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම LANKAQR පදනම් කරගත් ගෙවීම් භාවිතා කිරීමේදී පාරිභෝගිකයන්ට කිසිදු පිරිවැයක් දැරීමට සිදු නොවන බවත්, මෙමගින් ආර්ථිකයේ ඩිජිටල් ගෙවීම් දිරිගැන්වීම සහ මුදල් කළමනාකරන පිරිවැය අඩු කිරීම මෙන්ම අවිධිමත් මූල්‍ය අංශ විධිමත් කිරීමද අපේක්ෂාව වී තිබේ.

මෙම සමාරම්භක උත්සවය නිමවීමෙන් අනතුරුව මූල්‍ය ආයතනවල නිලධාරීන් මාතලේ නගරයට ගොස් වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් LANKAQR කේත පිළිබඳව දැනුවත් කිරීම සහ LANKAQR සක්‍රීය ගෙවීම් යෙදුම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන්ද දියත් කර ඇත.

ලංකා බැංකුව, කාර්ගිල්ස් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව (එන්.ඩී.බී) බැංකුව, සම්පත් බැංකුව, සණස සංවර්ධන බැංකුව යන බැංකු ද, එල්.බී. ෆිනෑන්ස්, එල්.ඕ.එල්.සී ෆයිනෑන්ස්, ඩයලොග් ආසිආටා සහ මොබිටෙල් යන ආයතන මගින් LANKAQR අනුකූල QR කේත නිකුත් කරනු ලබයි.

එහිදී LANKAQR සඳහා දායක වී ඇති ආයතන ඔවුන්ගේ ගෙවීම් යෙදවුම් සඳහා විවිධ නම් භාවිත කරන අතර ඒවා BOC SmartPay, DirectPay, OrelPay, OnePay, ComBankQ+, Flash, DFCC Pay, Frimi, NDB NEOS, WePay, UPay, CIM, iPay, ඩයලොග් eZcash, මොබිටෙල් mCash ලෙස හැඳින්වී ඇතැයිද මහ බැංකුව ජනතාව වෙත දැනුවත් කර සිටියි.

ප්‍රධාන ඡායාරූපය –  දඹුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩල සභාපති සහ ශ්‍රී ජිනරතන සාමණේර භික්ෂු පුහුණු ආයතනයේ සහ ජිනරතන ළමා නිවාසයේ කළමනාකාර අධ්‍යක්ෂ, රංගිරි දඹුලු රජමහා විහාරයේ උයන්වත්ත පුරාණ විහාර ප්‍රධාන සංඝනායක ගරු හල්මිල්ල වැව පේමරතන නාහිමිපාණන් ඉදිරියේ මහ බැංකු අධිපතිවරයා සිය මුදල් පරිත්‍යාගය සිදු කරන ආකාරය.

Visits: 111