කොටස් හුවමාරුව, Canada West විශ්ව විද්‍යාලය හා එක්ව විධායක ශ්‍රේණියේ අධ්‍යාපනික වැඩසටහනක්

කොළඹ කොටස් හුවමාරුව, Canada West විශ්ව විද්‍යාලය සමඟ එක්ව විධායක ශ්‍රේණියේ අධ්‍යාපනික වැඩසටහනක් 2021 සැප්තැම්බර් මස 27 වනදා ආරම්භ කිරීමට සංවිධානය කර ඇතැයි පවසයි. ආයතන ද්විත්වයෙහි අන්‍යොන්‍ය ශුභසිද්ධිය උදෙසා සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවක පළමු පියවර ලෙස මෙය හැඳින්විය හැකි බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම අධ්‍යාපනික වැඩසටහනෙහි අන්තරගතය පිළිබඳව සැලකීමේදී ව්‍යාපාරික විශ්ලේෂණ හා අවදානම් කළමනාකරණ කුසලතා සංවර්ධනය, මූල්‍ය හා අවදානම් කළමනාකරණයෙහි විශ්ලේෂණ ක්‍රමවේදයන්, විදේශ වෙළෙඳ ගනුදෙනු වල අවදානම හඳුනාගැනීම හරහා ගෝලීය ප්‍රවේශයන් අවබෝධය, ස්වාධිපත්‍ය අවදානම (Sovereign Risk), වෙළෙඳපොළ අවදානම ගණනය කිරීම සමඟ ප්‍රශස්ථ අවධානමක් සහිත ආයෝජන කලඹ හා බැඳුම්කර පිළිබඳව ඇගයුම් කිරීම ආදිය විශේෂත්වයක් ගනී.

ප්‍රධාන වශයෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන්නන් අරමුණු කරන වැඩසටහනක් වන මෙහි මොඩියුල තුනක් ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට භාජනය කෙරේ. එනම් ආයෝජන විශ්ලේෂණය හා කළමනාකරණය, ගෝලීය මූල්‍ය ආයතන කළමනාකරණය හා ව්‍යාපාර විශ්ලේෂණය යි. මෙම වැඩසටහනට සහභාගී වන්නනට ප්‍රවේශ අවශ්‍යතා පූර්ණය කිරීමෙන් පසුව Canada West විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨමාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව උදා කරගත හැකිය.

මාර්ග ගත ක්‍රමවේදය හරහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක වන මෙම පාඨමාලාවට දිවයිනේ ඔනෑම ප්‍රදේශයක අයෙකුට සහභාගී වීමේ අවකාශය පවතී. දේශන හා අසමමුහුර්තක ක්‍රියාවලියට ඉගැන්වීම් කටයුතු වන අතර සිසුන්ට මාර්ගගත ස්ව අධ්‍යනයේ නව මානයක් දැකගත හැකිවනු ඇත. පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරනු ලබන සිසුන් සඳහා සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.

කීර්තිමත් හා ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල අධ්‍යන කාර්ය මණ්ඩලයක් සහභාගී වන වැඩසටහන තුලදී , Urvish Pankajkumar Subodh මහතා විසින් ව්‍යාපාර විශ්ලේෂණ මොඩියුලයත්, ආචාර්ය Pooja Lekhi විසින් ගෝලීය මූල්‍ය ආයතන කළමනාකරණය මොඩියුලයත් හා ව්‍යාපාර පරිපාලනපති උපාධියෙහි නායකත්ව හා පිරිස් කළමනාකරණ අධ්‍යන අංශයෙහි ප්‍රධානී ආචාර්ය Michele Vincenti විසින් ආයෝජන විශ්ලේෂණය හා කළමනාකරණය මොඩියුලයත් මෙහෙයවනු ඇති.

කොළඹ කොටස් හුවමාරුව හා Canada West විශ්ව විද්‍යාලය ඉදිරියේදීත් ව්‍යාපාර විශ්ලේෂණය , මූල්‍ය හා අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයන් හි කුසලතා සංවර්ධනය පිළිබඳව වැඩසටහන් සඳහා අන්‍යොන්‍ය වශයෙන් එක්වූ ගමනක නිරත වීමට අපේක්ෂාවෙන් සිටි .

වැඩි විස්තර https://www.ucanwest.ca/cse-ucw-executive-program/ වෙබ් අඩවියට පිවිසිමෙන් හෝ 011 2356531-529 දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැක.

Visits: 202