නව මහ බැංකු අධිපති ලෙස කබ්රාල්ගේ පත්වීමට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කෙරේ

මහ බැංකු අධිපතිවරයා ලෙස හිටපු මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පත්වීම අත්හිටුවන ලෙස ඊයේ (සැප් 14) දිනයේදී අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් විය.

හිටපු මධ්‍යම පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙය අභියාචනාධිකරණය වෙත ඉ-මේල් පණිවුඩයක් ලෙස ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයට පත් කළ අතර අද (සැප්. 15) දිනයේදී ඔහු වැඩ භාර ගැනීමට නියමිතව තිබුණි.

ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා නැවත ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති ධුරයට පත්කිරීම හා එම ධුරයේ කටයුතු කිරීම වළක්වන මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, නියෝජ්‍ය මහ බැංකු අධිපති ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු යන මහත්වරුන් සහ නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාද නම් කර තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා මහ බැංකුවට රුපියල් බිලියන 10.4 -10.6ක් පමණ අලාභයක් සිදු කර ඇති බවට මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාවක් මගින් කරුණු අනාවරණය වී ඇති බැවින් ඔහු අත්අඩංගවට ගෙන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරන ලෙස පොලිසිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස මෙහිදී ඉල්ලා තිබේ.

එසේම කබ්රාල් මහතාට එරෙහිව අධි චෝදනා ගොනුකර නඩු පවරන ලෙසද නීතිපතිවරයාට නියෝග කරන ලෙසත් පෙත්සම්කරු විසින් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ අතර කබ්රාල් මහතා නැවත මහ බැංකුවේ අධිපති ධුරයේ කටයුතු කිරීමට පත්කළහොත් ඒ සම්බන්ධයෙන් ඇති සාක්ෂි විනාශ කිරීමේ අවදානමක් ඇති බවත් මෙහිදී පෙත්සම්කරු විසින් සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින්ද ඉහත කරුණු සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස නිර්දේශ ඉදිරිපත් කෙරට ඇති බවත් තෙන්නකෝන් මහතා මෙහිදී පවසා ඇත.

ඒඅනුව මෙම කරුණූ සුවිශේෂී ලෙස සලකා අද (15දා) එම පෙත්සම සලකා බැලීමට දින නියම කරන ලෙස පෙත්සම්කාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලීම් කොට ඇතැයිද සඳහන් වෙයි.

මෙහිදී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නීතිඥ ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසක් පෙත්සම වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයිද සඳහන් වෙයි.

Visits: 87