චීන සමාගමේ අධිවේගී මාර්ග ඉදිකිරීමේ ප්‍රමිතිය අධීක්ෂණයට ස්වාධීන උපදේශක ආයතනයක් සොයයි

නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මතින් ඉදි කරනු ලබන අධිවේගී මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව හිමිව ඇති චීනයේ M/s China Harbour Engineering Corporation සමාගමෙහි එම ඉදිකිරීම් සහ නඩත්තු වැඩ අධීක්ෂණය සඳහා ස්වාධීන ආයතනයක් තෝරා පත් කර ගන්නා ලෙස රජය මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබේ.

ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේදී මේ පිළිබඳව අනාවරණය කෙරිණි.

ඒ සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කර යෝග්‍ය ආයතනයක් තෝරා ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස  අනුමත කර තිබේ.

මෙම කණු මතින් ඉදි කරනු ලබන අධිවේගී මාර්ගය ඉදි කිරී‍මට අදාළ කොන්ත්‍රාත්තුව සැලසුම් කොට, ඉදි කර, අරමුදල් සපයා, මෙහෙයුම් සිදු කර පවරා දීමේ පදනම මත (DBFOT) සිදුවන්නකි.

2021-05-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී  එම ව්‍යාපෘතිය M/s China Harbour Engineering Corporation වෙත ප්‍රදානය කිරීමට අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, වසර 03ක් ඇතුළත අදාළ අධිවේගී මාර්ගය ඉදි කිරීමට නියමිතව ඇතැයි රජය පවසයි. එහිදී යෝජිත මාර්ගයේ ප්‍රමිතිය හා නියමිත කාලසීමාව තුළ ඉදි කිරීම සහතික කර ගැනීම පිණිස ඉදි කිරීම් කටයුතු හා නඩත්තු වැඩ අධීක්ෂණය සඳහා ස්වාධීන ඉංජිනේරුවරයකු වශයෙන් උපදේශක ආයතනයක් පත් කිරිම සඳහා මෙම අවස්ථාව ලබා දී තිබේ.

එහිදී එම උපදේශක ආයතනයේ සේවා යෝජක වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කළ යුතුව ඇතැයිද වැඩිදුරටත් සඳහන් වෙයි.

Visits: 141