දෙවැනි දිනටත් දර්ශක අගයන් ඉහළට

ඊයේ (පෙබරවාරි 19) කොළඹ කොටස් හුවමාරුවේ සිදු වූ ගනුදෙනු අවසානයේදී දර්ශක අගයන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ යාමක් සමගින් නිමාවට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම මූල්‍ය සහ පාරිභෝගික භාණ්ඩ සමාගම්වල කොටස් වටිනාකම් ඉහළ යාම ඊට හේතු වී තිබේ. කෙසේ වෙතත් රටෙහි වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ අවිනිශ්චිතතාව තවදුරටත් ආයෝජකයන් තුළ තීරණ ගැනීමේ ප්‍රධාන සාධකයක්ව පවතින බවත් එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව ඊයේ දිනයේදී ඒකක 7,687.58ත් ඒකක 7,821.39 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,797.94 ක් බවට පත්විය. එය පෙරේදා (පෙබරවාරි 18) දිනයට සාපේක්ෂව ඒකක 61.58 ක් එනම් +0.8%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සම්පත් බැංකුව තුළ සිදු වූ ගනුදෙනුවක් දිනයේ පිරිවැටුම සඳහා 3.8%ක දායකත්වයක් ලබා දී ඇත.

එසේම ඊයේ දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 86ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 93ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+21.19), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (+19.72), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+10.21), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (+7.49), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+7.36), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-6.11), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-5.84), හේලීස් පීඑල්සී HAYL (-5.15), වැලිබල් වන් පීඑල්සී VONE (-4.72), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (-3.83) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,098.12 ක අගයක් ගත් අතර, එය පෙරේදා (පෙබරවාරි 18) දිනයට සාපේක්ෂව ඒකක 12.08 ක එනම් +0.39%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.48ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙරේදා (පෙබරවාරි 18දා) වාර්තා කළ රුපියල් බිලියන 3.34ට සාපේක්ෂව 4.2% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.41ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 15.19%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 44.89ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 329.22ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 284.33කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 12.18ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.01කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 225.33ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 866ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 25% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 681ක සහ රුපියල් මිලියන 563ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 197