වෙළදපොළේ හිඟ ටයර් පිළිබඳව ඇමති හා නිෂ්පාදකයන් අතර සාකච්ඡාවක්

අද වනවිට මෙරට වෙළදපොළේ හිඟව ඇති වාහන ටයර් වර්ග කිහිපයක් කඩිනමින් නිෂ්පාදනය කර පාරිභෝගිකයාට ලබාදීමට අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ ටයර් සමාගම් අතර සාකච්ඡාවක් ඊයේ එම අමාත්‍යාංශයේදී පැවැත් වී තිබේ.

මෙහිදී අමාත්‍යවරයාගේ ආරාධනාවට අනුව මෙරට සියලුම ටයර් නිෂ්පාදකයන් මෙම සාකච්ඡාව සඳහා පැමිණ ඇති බව එම අමාත්‍යාංශය පවසයි. විශේෂයේම මෙරට පාරිභෝගිකයන් සදහා අවශ්‍ය, විශේෂ ටයර් කාණ්ඩ කිහිපයකම පවතින හිඟය පිළිබද අධ්‍යයනයකින් පසු අමාත්‍යවරයා මෙම සාකච්ඡාව කැඳවා තිබේ.

මෙහිදී අදාළ ටයර් කාණ්ඩ එකින් එක ගෙන සාකච්ජා කළ බවත් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඒවා කඩිනමින් නිපදවීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා පැමිණ සිටි සමාගම් වෙත උපදෙස් ලබා දුන්නේය. දින කිහිපයක් තුළ අධ්‍යයනය කොට දැනට වෙළදපොළේ නොමැති ටයර් වර්ග හැකි ඉක්මනින් නිෂ්පාදනය කොට වෙළදපොලට මුදා හරින ලෙසද ඇමතිවරයා උපදෙස් දී ඇත.

මේ සඳහා ඉක්මන් විසදුමක් ඉදිරිපත් කරන බව නිෂ්පාදකයන් මෙහිදී අමාත්‍යවරයා වෙත පවසා තිබේ.

මේ අතර, මෙරට ටයර් නිෂ්පාදන කර්මාන්තය සදහා අවශ්‍ය රබර් සීමිත වීම පිළිබඳවත් මෙහිදී සාකච්ජා කෙරුණු අතර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව ඉදිරියේදී ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් සකසන ලෙසත් ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාශයේ ලේකම් අනුෂ පැල්පිට, කර්මාන්ත අමාත්‍යාශයේ අතිරේක ලේකම් එස්.ඒල් නසීර්, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, රබර් පර්යේෂණ ආයතනයේ නිලධාරින්, ටයර් නිෂ්පාදනය කරණු ලබන සමාගම් වල නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

Visits: 115