Ministry of Crab හි දර්ශන් මුනිදාසට ජපානයෙන් ආහාර පිළිබඳ තානාපතිධුරයක්

මෙරට ජනප්‍රිය ආපනශාලා දෙකක් වන ‘Nihonbashi’ සහ ‘Ministry of Crab’ හි නිර්මාතෘවරයා වන සුප්‍රසිද්ධ සූපවේදී සහ ආපනශාලාහිමිකරු දර්ශන් මුනිදාස මහතා වෙත ජපාන රජයෙන් විශේෂිත තානාපති ධුරයක් පිරිනමා ඇතැයි පවසයි.

ඒ අනුව මෙරට ජපාන තානාපති සුගියාමා මහතා විසින් ඒ මහතා වෙත ‘ජපාන ආහාරපාන සඳහා වන කීර්තිනාමය පිළිබඳ තානාපතිවරයා (Japanese Cuisine Goodwill Ambassador) ලෙස සඳහන් මෙම ධුරය ඊයේ දිනයේදී පිරිනමා තිබේ.

ජපානයේ කෘෂිකර්ම, වනාන්තර සහ ධීවර අමාත්‍යාංශය මගින් මෙම පිළිගැනීම මුනිදාස මහතා වෙත ලබා දී ඇත. ඒ මහතා ජපාන ආහාර පාන සහ ඉවුම්පිහුම් සංස්කෘතිය විදේශයන්හි ප්‍රචලිත කිරීම සඳහා දක්වන දායකත්වය අගය කිරීමක් ලෙස මෙම තානාපතිධුරය පිරිනමා ඇතැයි අමාත්‍යාංශය පවසයි.

මෙලෙස ජපානය වෙතින් Japanese Cuisine Goodwill Ambassador ලෙස තානාපති ධුරයක් ශ්‍රී ලංකාව වෙත පිරිනැමූ පළමු අවස්ථාවද මෙය වී තිබේ. මීට පෙර 2014 වසරේදීද එම අමාත්‍යාංශය මගින්ම මුනිදාස මහතා වෙත ජපාන ආහාර විදේශයන්හි ප්‍රචලිත කිරීම සඳහා වන අමාත්‍යවරුන්ගේ සම්මානයද (Minister’s Awards for Overseas Promotion of Japanese Food) පිරිනමා තිබේ.

මෙම ගෞරව සම්මාන තානාපති ධුරය පිරිනැමීම පිළිබඳව අදහස් දක්වා ඇති ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා මහතා, මුනිදාස මහතා ශ්‍රී ලංකාව තුළ සිදු කරන මෙම ජපාන ආහාරපාන ප්‍රවර්ධනය දෙරට අතර මිත්‍රශීලී සබඳතාව තවත් වර්ධනයට හේතු වන බව පවසා ඇත.

දර්ශන මුනිදාස මහතා සිය ඉවුම්පිහුම් ගමන තුළදී අද වනවිට දශක දෙකකට අධික කාලයක් ජපාන ආහාර පාන ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කරමින් සිටින බව ජපාන තානාපති කාර්යාලය පවසයි. ඒ අතරින් ඔහු 1995 වසරේදී Nihonbashi ආරම්භ කළ අතර එය ජපාන ආහාර සඳහා වෙන් වූවකි. එසේම 2011 වසරේදී ඔහු Ministry of Crab පිහිටවූ අතර මුහුදු ආහාර සඳහා වෙන් වූ ආපනශාලාවක් වූ එහි ආහාර සකස් කිරීම සඳහා ජපාන ආහාර පානවල ඇතුළත් රසකාරක ද්‍රව්‍ය යොදා ගන්නා බවත් පවසයි.

මෙම ආපනශාලා දෙකම 2013 සිට 2018 වසර දක්වා සහ 2015 සිට 2020 වසර දක්වා ආසියාවේ හොඳම ආපනශාලා 50 අතරටද වසර හයක්ම තේරීපත් විය. එසේම අද වනවිට මුනිදාස මහතා සිය Ministry of Crab සහ Nihonbashi ආපනශාලා මෙහෙයුම් ශ්‍රී ලංකාවෙන් පිටත තවත් රටවල් පහක් දක්වා ව්‍යාප්ත කිරීමටද සමත්ව සිටියි.

Visits: 51