DFCC බැංකුව ICRA Lanka Limited වෙතින් “[SL] AA- (ස්ථාවර)” ශ්‍රේණිය හිමිකරගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ICRA Lanka Limited වෙතින් “[SL] AA- (ස්ථාවර)” ශ්‍රේණිය හිමිකර ගැනීමට පසුගියදා සමත් වූ බව පවසයි. ICRA Lanka සමාගමයනු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍ර හිමි ණය ශ්‍රේණිගතකිරීම් නියෝජිත ආයතනයක් වන අතර එය ඉන්දියාවේ ICRA Limited හි පූර්ණ හිමිකාරීත්වය යටතේ පවතින අනුබද්ධ සමාගමකි. Moody’s Investors Service සමාගම එහි වක්‍ර බහුතර කොටස් හිමිකරුවා වෙයි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී සංවර්ධන බැංකුවක් ලෙස DFCC බැංකුවසතු පිළිගැනීම (DFCC බැංකුව 2015 වසරේ පූර්ණ සේවා සපයන වාණිජ බැංකුවක් බවට පත්විය), එහි යහපත් වත්කම් තත්ත්ව දර්ශක, සහ සප්‍රමාණික ප්‍රාග්ධනීකරණ පැතිකඩ යනාදී සාධක ICRA Lanka සමාගමේ මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා සැලකිල්ලට ගෙන ඇතැයි පවසයි.

ආයතනික බැංකුකරණය සම්බන්ධයෙන් පුළුල් මට්ටමේ අවධානයක් යොමුකර ඇති DFCC බැංකුවේ සමස්ත ණයදීම් වලින් 44% ක්, 2020 ජූනි මාසය වනවිට, ආයතනික ණය දීම් විය. එමෙන්ම 2020 ජූනි මාසය වන විට බැංකුවේ දළ අක්‍රීය වත්කම් අනුපාතය (GNPA), ක්‍රමික සාමාන්‍යය වන 5.3% ට වඩා අඩු අගයක් වූ 4.3% මට්ටමේ පැවති අතර මේ ඔස්සේ නිරූපණය වන බැංකුවේ යහපත් වත්කම් තත්ත්වයද ශ්‍රේණිගත කිරීම් වලට බලපා ඇත.

බැංකුවේ සප්‍රමාණික ප්‍රාග්ධනීකරණ පැතිකඩ සම්බන්ධයෙන් ගත්විට, 2020 ජූනි මාසය වනවිට එහි ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතය, අවම නියාමන අවශ්‍යතාව වන 8.5% ඉක්මවා 11.1% මට්ටමේ පැවතිණි. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමය අනුව මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවේ අවම සීමාව 2020 දෙසැම්බර් මාසය වනවිට රු. බිලියන 20 වන නමුත් DFCC බැංකුව පහසුවෙන් මෙම සීමාව ඉක්මවා 2020 ජූනි මාසය වන වනවිට රු. බිලියන 48 මට්ටමට පැමිණ සිටි බවද මෙම වාර්තාවේ දැක්වේ.

ණය ශක්තීන් පිළිබඳව විස්තර කරමින් වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, 1955 වසරේ ස්ථාපිත කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන බැංකුව ලෙස සහ ආසියානු කලාපයේ පුරෝගාමී සංවර්ධන බැංකු අතරින් එකක් ලෙස, දීර්ඝකාලීන මූල්‍ය සම්පාදනය සම්බන්ධයෙන් බැංකුව සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවයි.

2020 ජූනි මාසය වනවිට බැංකුවේ සමස්ත ණයදීම් අතරින් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ සාමාන්‍ය පාරිභෝගික කාණ්ඩ පිළිවෙළින් 33% සහ 18% මට්ටම් වල පැවතිණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර රාශියක් DFCC බැංකුවේ ගනුදෙනුකරුවන් බවට පත්වී සිටින අතර ආරම්භයේ සිටම බැංකුව මෙම ව්‍යාපාර වෙත දීර්ඝකාලීන ණය පහසුකම් ලබා දී තිබේ. 2020 ජූනි මාසය වන විට රු. බිලියන 435 ක මුළු තැන්පතු පදනමක් හිමිකරගෙන සිටි DFCC බැංකුව, වත්කම් වල ප්‍රමාණය අනුව 4% කට ආසන්න වෙළඳපොළ කොටසක් හිමිකරගෙන තිබිණි. මේ වනවිට එම බැංකුව දිවයින පුරා ශාඛා 139 ක් විවෘත කර ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා “මේ දුෂ්කර කාලසීමාවේදී අපගේ උනන්දුව හා කැපවීම වෙනුවෙන් ලැබුණු ඇගයීමක් ලෙස මේ ආකාරයට ICRA Lanka Limited වෙතින් “[SL] AA- (ස්ථාවර)” ශ්‍රේණිය හිමිවීම අපට විශාල සතුටක්. අපගේ ව්‍යාපාරික කටයුතු වලදී ප්‍රධානත්වය හිමිකරගන්නා අපගේ සියලුම ගනුදෙනුකරුවන්, කාර්ය මණ්ඩලය, කොටස් කරුවන් සහ අනෙකුත් ව්‍යාපාරික හවුල්කරුවන් වෙත දිගින් දිගටම ප්‍රමුඛත්වය ලබාදෙමින් DFCC බැංකුව අඛණ්ඩව දියුණුව වෙත පියනගනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” යනුවෙන් පැවසීය.

Visits: 160