MCC තීරණය ගැන කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මගින් ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා යෝජනා වී තිබූ රුපියල් බිලියන 89ක එම්සීසී සංවර්ධන ආධාර ප්‍රදානය නැවැත්වීමට එම මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂ මණ්ඩලය දෙසැම්බර් 15 වැනිදා තීරණය කළ බව කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශයක් මගින් සඳහන් කරයි.

එහිදී හවුල්කාර රටෙහි සම්බන්ධවීම අඩු බව මෙම අත්හිටුවීම සඳහා හේතුව වී තිබෙන බව තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා අනුමතව තිබූ එම රුපියල් බිලියන 89ක මුදල තමන්ගේ සංවර්ධන ප්‍රමුඛතා හඹා යාමට, දුගී බව අඩු කරගැනීමට සහ තම ආර්ථික වර්ධනය කරගැනීමට මුදල් ප්‍රදාන අවශ්‍ය කර තිබෙන සුදුසුකම් සහිත වෙනත් රටවලට ලබා ගත  හැකි වනු ඇති බවත් තානාපති කාර්යාලය පවසා සිටියි.

මේ අතර එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ මිතුරෙකු සහ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන අතර, කෝවිඩ් සඳහා ප්‍රතිචාර දැක්වීමේදී සහ ස්වකීය ආර්ථිකය ගොඩනැංවීමේදී ඉදිරියටත් අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලෙබා දෙනු ඇති බවත් තානාපති කාර්යාලය අවධාරණය කරයි.

තානාපති කාර්යාලය නිකුත් කළ එම ප්‍රකාශය මෙසේය.

Visits: 187