සම්පත් බැංකු CFO අජන්ත ගුණසේකර එහි විධායක අධ්‍යක්ෂ ධුරයට

සම්පත් බැංකුවේ සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී (Group Chief financial Officer) ලෙස කටයුතු කරන දොන් අජන්ත ද වාස් ගුණසේකර මහතා එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කිරීමට තීරණය කර ඇතැයි සම්පත් බැංකුව පවසයි.

ඊයේ (ඔක්තෝබර් 29දා) දිනයේදී පැවැත්වුනු එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ හමුවේදී මෙම නව පත් කිරීමට අදාළ කරුණු සමතයකට පත් කරගත් බවත්, ඒ අනුව 2020 ඔක්තෝබර් 29 වැනිදා සිට අජන්ත වාස් ගුණසේකර මහතා සම්පත් බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කෙරෙන බවත් බැංකුව සඳහන් කරයි.

ඒ අනුව බැංකුවෙහි විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ඒ මහතා පත් කෙරී ඇත. කෙසේ වෙතත් මෙම පත්වීම ලබන අවස්ථාව වන විට ගුණසේකර මහතා සතුව බැංකුවේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවද පැවසෙයි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන අජන්ත ගුණසේකර මහතා, ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේද සාමාජිකයෙකි.

මෙම ක්ෂේත්‍රය තුළ වසර 27කට අධික අත්දැකීම් සහිත ගුණසේකර මහතාගේ වෘත්තීය දිවියෙන් වසර 20ක්ම රක්ෂණ සහ බැංකු අංශයන්හි ජ්‍යෙෂ්ට සාංගමික කළමනාකර මට්ටමේ ධුරයන් හොබවා තිබේ. ඔහු 2013 වසරේ ජූලි මාසයේ සිට සම්පත් බැංකුව හා එක්ව කටයුතු කරයි.

සම්පත් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ලෙස පත්වීමට පෙරාතුව ගුණසේකර මහතා, හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී, එච්එන්බී ඇෂුවරන්ස් පීඑල්සී හි මූල්‍ය සහ සාංගමික සේවා සාමාන්‍යාධිකාරී, ඒෂියන් එලායන්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සීහි මූල්‍ය කළමනාකරු සහ ජේම්ස් ෆින්ලේ ඇන්ඩ් කම්පැනි (කලම්බු) ලිමිටඩ්හි ගණකාධිකාරිවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

ඒ අනුව අද වනවිට සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙසේය, සභාපති හර්ෂ අමරසේකර, කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු, උප සභාපති රුෂන්ක සිල්වා, ජ්‍යෙෂ්ට ස්වාධීන අධ්‍යක්ෂ දෙෂාල් ඩි මෙල්, විධායක අධ්‍යක්ෂ අජන්ත ගුණසේකර, විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස අනිකා සේනානායක, රනිල් පතිරණ,දිලිප් ද එස්. විජේරත්න, අරෝෂි නානායක්කාර, සන්ජීව වීරවරණ, සහ වජිර කුලතිලක කටයුතු කරයි.

Visits: 225