කොවිඩ් තොරතුරු රැස් කරන නව “යෙදුම” (APP) ජනපතිට හඳුන්වා දෙයි

වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගත හැකි ලෙස බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය මගින් සකස් කළ නව “යෙදුමක්” (App) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා වෙත හඳුන්වාදීම ඊයේ දිනයේදී සිදුවුණු බව ජනපති කාර්යාලය පවසයි.

කොවිඩ් ආසාදිතයන්, ආශ්‍රිතයන්, නිරෝධායනය, PCR පරීක්ෂණ සේවා, නිරීක්ෂණ, තීරණ ගැනීම්, ආසාදිතයන්ට ආසන්නතම ප්‍රදේශ සම්බන්ධ තොරතුරු ඇතුළු අත්‍යාවශ්‍ය දත්ත රැසක් මෙම නව “යෙදුමෙන්” (App) ලබා ගැනීමට හැකියාව ලැබෙයි.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය ඊයේ (29) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදී බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධම්මිකා ජයලත් මහත්මිය ප්‍රධාන කණ්ඩායම විසින් නව යෙදුම මෙලෙස හඳුන්වාදී තිබේ.

අලුත්ම වර්ධනයන් පිළිබඳ තොරතුරු සෑම විටම දැනගත හැකි ලෙස “යෙදුම” සකස් විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව 350කින් 28ක් තුළ මේ වනවිට කොවිඩ් ආසාදිතයන් හඳුනාගෙන තිබේ. සෙසු ප්‍රදේශවලට පැතිරයාම වැළැක්වීමට හැකි උපරිම පියවර ගෙන ඇති බව කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ ජනපතිවරයා වෙත සඳහන් කර තිබේ.

ඒ අනුව වෛරසය පැතිරයාම වැළැක්වීමට පළමුවැනි, දෙවැනි, ආශ්‍රිතයන් ඇතුළුව 41,000ක් ස්වයං නිරෝධායනයට ලක් කර සිටිති. එසේම දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි අහඹු ලෙස PCR පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ මෙම  හමුවට එක්ව තිබේ.

Visits: 66