ඉන්දියාවේ ඇක්සිස් බැංකුවේ මෙරට ශාඛා බලපත්‍රය අවලංගු කෙරේ

ඉන්දියාවේ ඇක්සිස් බැංකුව මගින් මෙරට පවත්වාගෙන ගිය එම බැංකුවේ කොළඹ ශාඛාව වෙත නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අද (2020 ඔක්තෝබර් 30) දිනයේ සිට මෙම අවලංගු කිරීම බලාත්මක වී තිබේ.

ඇක්සිස් බැංකුවේ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව මහ බැංකුව සඳහන් කර සිටියි. “ඉන්දියාවේ ඇක්සිස් බැංකුව විසින් 2019 වසරේදී එම බැංකුවේ ගෝලීය මෙහෙයුම් පිළිබඳව ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණය මත කරන ලද ඉල්ලීම සලකා බලා මෙම බලපත්‍රය අවලංගු කිරීම සිදුව තිබේ.” මහ බැංකුව පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව, ඇක්සිස් බැංකුව කොළඹ ශාලාවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු වසා දැමීමට සහ එම බැංකුව සඳහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමටත් අනුමැතිය ලබා දී තිබේ.

කෙසේ වෙතත් මෙහිදී යම් නියමයන් සහ කොන්දේසි කිහිපයකට යටත්ව මෙම අනුමැතිය ලබා දුන් බවද මහ බැංකුව පවසයි.

“ඇක්සිස් බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූලවීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ සෑහීමකට පත්වීමෙන් පසු, බැංකු කටයුතු කරගෙන යාම සඳහා ඇක්සිස් බැංකුව වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2020 ඔක්තෝබර් 30 වැනිදා සිට අවලංගු කරන ලදී.” මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ අතර ඉන්දියාවේ ICICI බැංකුව වෙත නිකුත් කර තිබූ බලපත්‍රයද පසුගිය ඔක්තෝබර් 23 වැනිදා සිට අවලංගු කිරීමටද මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර තිබුණි.

Visits: 181