මධ්‍යම සංස්කෘතික අරමුදලට අගමැතිගෙන් රුපියල් මිලියන 3,400ක්

මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලය මගින් 2021 වසරේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 3,400ක මුදලක් වෙන් කිරීමට මුදල් ඇමති, අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇතැයි පවසයි.

අගමැතිවරයා යටතේ පවතින බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ එම මණ්ඩලය ක්‍රියාත්මක වෙයි. එසේම අගමැතිවරයා එම මණ්ඩලයේ සභාපතිවරයාද වෙයි. ඊයේ දිනයේදී අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු එම මණ්ඩලයේ සභාවාරයේදී මෙම මුදල් වෙන් කිරීම සිදුව තිබේ.

මෙහිදී මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබෙන ආයතනවල ඉදිකිරීම් සෘජු කොන්ත්‍රාත් පදනම මත රජයේ ඉදිකිරීම් ආයතන වෙත ලබාදීමට ගරු අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දී ඇත.

එසේම පුරාවිද්‍යා වටිනාකමකින් යුත්, ආදිවාසී ජනයාට අයත් යැයි පැවසෙන හිස්කබල් ඇතුළු අස්ථි කොටස් තැන්පත් කිරීම සඳහා කෞතුකාගාරයක් ඉදි කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල් වෙන් කිරීමටද අග්‍රාමාත්‍යතුමා මෙහිදී උපදෙස් ලබා දුන් බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

දඹානේ ආදිවාසීන්ට අයත්, එක්‌සත් රාජධානියෙහි එඩින්බර්ග් සරසවි කෞතුකාගායේ තැන්පත් කොට තිබූ, මෙම ආදිවාසී ජනතාවගේ හිස්‌කබල් නැවත ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට භාර දීම එඩින්බර්ග් සරසවියේ පැවැති උත්සවයකදී පසුගිය වසරේදී සිදු විය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති) ගනේෂ් ධර්මවර්ධන, සංචාරක අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්යසෙරත් දිසානායක මහත්වරු එක්ව සිට ඇත.

Visits: 39