දම්රෝ ඉන්දියාව තුළ තවත් ප්‍රදර්ශනාගාර 25ක් පිහිටුවීමට යයි

දකුණු ආසියාවේ විශාලතම ගෘහභාණ්ඩ නිෂ්පාදකයා ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ දම්රෝ සමාගම ඉදිරි මාස හයක කාලය ඇතුළතදී අලුතින් දැවැන්ත ප්‍රදර්ශනාගාර 25ක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින බව පවසයි. ඒ අනුව ඉන්දියාව තුළ සිය ප්‍රදර්ශනාගාර ජාලය තවදුරටත් ශක්තිමත් කිරීම සමාගමේ අරමුණ වී තිබේ.

දැනටමත් දම්රෝ සමාගම මගින් ඉන්දියාව තුළ ප්‍රදර්ශනාගාර 80ක් පවත්වාගෙන යයි. දම්රෝ නිෂ්පාදන කෙරෙහි ඉන්දීය පාරිභෝගිකයන් සතුව තවදුරටත් පවතින විශ්වාසය මෙලෙස සිය සමාගම වෙත ඉන්දියාව තුළ සාර්ථකවීම සඳහා දායකත්වය ලබා දී ති බෙන බවද සමාගම සඳහන් කරයි.

විශේෂයෙන්ම ඉන්දියාව තුළ දරුණු ලෙස ව්‍යාප්ත වී තිබෙන COVID-19 වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද දම්රෝ සමාගම වෙත එරට ව්‍යාපාරික මෙහෙයුම් තවදුරටත් පවත්වාගෙන යාමේ හැකියාව පවතින බව සමාගම අවධාරණය කරයි.

එහිදී වසර 20කට අධික කාලයක් පුරා සිය සමාගම ඉන්දියාව තුළ ගොඩනගාගත් පාරිභෝගික පදනම හේතුවක් බවත්, එයද ඉන්දියානු වෙළෙඳ පොළ තුළ සිය සමාගමේ අනාගත වර්ධනය සහ තිරසාරත්වය ස්ථිර කරවන අවස්ථාවක් බවත් සමාගම පෙන්වා දෙයි.

දම්රෝ සමාගම පවසන ආකාරයට අද වනවිට ඔවුන් සෑම මාසයකදීම ඉන්දියාව වෙත අඩි 40 ප්‍රමාණයේ කන්ටේනර් බහාලුම් 100කට වඩා වැඩි ප්‍රමාණයක් අපනයනය කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ පැනවුණු ඇඳිරිනීතිමය තත්ත්වය හේතුවෙන් දේශීය ප්‍රදර්ශනාගාර අලෙවිය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවේ දම්රෝ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය වෙනුවෙන් මෙලෙස ඉන්දියානු මෙහෙයුම් තවදුරටත් දියුණු කරගැනීම සමාගමේ අරමුණ වී ඇති බවත් පවසා සිටියි.

ඒ අනුව ඉදිරියේදී ඉන්දියාව වෙත මාසිකව අපනයනය කරනු ලබන අඩි 40 කන්ටේනර් බහාලුම් සංඛ්‍යාව 150ක් දක්වා වර්ධනය කරගැනීමටත්, ඉන්දියාව තුළ යෝජිත සිය ප්‍රදර්ශනාගාර ජාලය වැඩි කිරීමේ කටයුතු හරහා අලෙවිය ඉහළ නැංවීමත් බලාපොරොත්තුව බව දම්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 365