සංචාරකයන් වෙනුවෙන්‘ ‘1912’ හදිසි දුරකතන අංකයක්

සංචාරකයන් වෙනුවෙන්‘ ‘1912’ හදිසි දුරකතන අංකයක්

COVID – 19 වසංගතයත් සමග රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ මෙරට සිටින සංචාරකයන් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් 1912 හදිසි දුරකතන අංකය හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය  පවසයි.

විශේෂයෙන්ම මෙම අවස්ථාවේදී රටින් පිටවීමට බලාපොරොත්තු වන විදේශික සංචාරකයන් සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් පැය 24 පුරා ක්‍රියාත්මක මෙම පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය විවෘතව තැබෙන බව එම ආයතන පවසයි.

එහිදී මෙම සංචාරකයන්ගේ ප්‍රවාහන ගැටලු, හෝටල් නවාතැන් පහසුකම් මෙන්ම මෙම වෛරස ව්‍යාප්තිය අවස්ථාවේදී ඔවුන්ට ලබා ගත යුතු ඕනෑම තොරතුරක් ලබාදීම වෙනුවෙන් මෙම හදිසි දුරකතන අංකය ක්‍රියාත්මක බව  සඳහන් වෙයි.

ශ්‍රී ලංකා සංචාරක මෙහෙයුම් සංගමය (SLAITO), ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමය එක්ව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

මේ අතර COVID – 19 සම්බන්ධ හදිසි අවස්ථාවකදී පොලිසි මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් කාර්යාලය ඇමතීම හරහාද තොරතුරු ලබා ගත හැකි බවත්, 011 2444480, 0112444481, 011 5978730, 011 5978734, 011 5978720 යන දුරකතන අංක මේ සඳහා වෙන්කර ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එසේම සංචාරක සේවා සම්බන්ධ විමසීම් සඳහා 011 242 6900 හරහා තොරතුරු ලබා ගත හැකි බවත් සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කටයුතු මේ වනවිට මෙරටට පැමිණෙන පිරිස් සඳහා පමණක් වසා ඇති අතර, මෙරටින් පිටවන පිරිස් සඳහා එය තවදුරටත් විවෘතව පවතී. එහිදී දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය යටතේ වුවද රටින් පිටවීම සඳහා ගුවන් තොටුපොළ වෙත යන පිරිස් වෙත සිය ගුවන් ගමන් බලපත්‍රය අවසර පත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බවත් පොලිසිය නිවේදනය කර තිබේ.

Visits: 24