විනිමය අනුපාතයේ සහ මූල්‍ය වෙළෙඳ පොළෙහි ආරක්ෂාවට මහ බැංකුවෙන් තීරණ

විනිමය අනුපාතයේ සහ මූල්‍ය වෙළෙඳ පොළෙහි ආරක්ෂාවට මහ බැංකුවෙන් තීරණ

රට තුළ ව්‍යාප්තව ඇති COVID-19 වසංගත තත්ත්වය හේතුවක් කරගනිමින් විනිමය අනුපාතය වෙත එල්ල වී තිබෙන පීඩනය සහ මූල්‍ය වෙළෙඳපොළ වෙත එල්ල වී ඇති අර්බුදකාරී තත්ත්වය මඟහැරවීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකු වෙත ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

එහිදී 1949 අංක 58 දරණ මුදල් නීති පනත, 1988 අංක 30 දරන බැංකු පනත සහ 2017 අංක 12 දරණ විදේශ විනිමය පනත යන පනත්හි ඇතුළත් විධිවිධාන අනුව තමන් මෙම ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව පවසා සිටියි.

ඒ අනුව ඉදිරි මාස තුනක කාලයක් සඳහා මෙම ක්‍රියාමාර්ග අදාළ බැංකු විසින් පිළිපැදිය යුතු බව මෙම නිවේදනයේ සඳහන් වී තිබේ.

එහි පළමු කරුණ ලෙස සියලුම ආකාරයේ මෝටර් රථ ආනයනය සඳහා කිසිදු පහසුකමක් නොසලසන ලෙස මහ බැංකුව ඔවුන් වෙත දැනුම් දෙයි. එහිදී 2020 අංක 01 බැංකු පනත යටතේ ලබා දී ඇති විධිවිධාන යටතේ සඳහන් මෝටර් රථ වර්ග ආනයනය කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.

එසේම 2020 අංක 01 දරන  බැංකු පනත යටතේ ඇතුළත් නොවන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහාද කිසිදු පහසුකමක් නොසලසන ලෙස බැංකු වෙත උපදෙස් දී ඇත.

මීට අමතරව මෙරට බලපත්‍ර ලාභී බැංකු මගින් කිසිදු ආකාරයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර මිලදී ගැනීමත් සිදු නොකළ  යුතු බවත් සඳහන් කෙරී ඇත.

ඊටත් අමතරව, මෙරට සිටින බලයලත් විදේශ මුදල් හුවමාරුකරුවන් වෙත නිකුත් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් 5,000ක් හෝ ඊට සමාන වෙනත් විදේශ මුදල් ඒකකයක් ලෙසද මෙම නිවේදනයේ සඳහන් වෙයි.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ පොළ හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් දිගින් දිගටම නිරීක්ෂණය සිදු කරන බවත්, අවශ්‍ය වුවහොත් මීටත් වඩා පියවර ගන්නා බවත් පවසා සිටියි.

එසේම COVID-19 වසංගතය හේතුවෙන් අර්බුදයට ලක්වන වෙළෙඳපොළ කටයුතු වඩාත් සුමටව පවත්වාගෙන යාම සඳහා සහ වඩාත් තිරසාර වෙළෙ පොළ ස්ථායිතාවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ද්‍රවශීලතාවක් යෙදවීම සඳහා කටයුතු කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටියි.

Visits: 56