අද සිට බැංකු විවෘතව පවතින්නේ පැය 4 ලු

අද සිට බැංකු විවෘතව පවතින්නේ පැය 4 ලු

2020 මාර්තු 19 එනම් අද දිනයේ සිට බැංකු තුළ කවුන්ටර් සේවාවන් පවත්වනු ලබන්නේ උපරිම පැය හතරක කාලයක් සඳහා පමණක් බව ලංකා බැංකු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

මෙරට තුළ ව්‍යාප්තව පවතින කෝවිඩ් 19 වසංගත තත්ත්වය මත බැංකු දීර්ඝ කාලයක් විවෘතව තැබීමෙන් එහි සේවකයන් වෙත සිදුවිය හැකි අනර්ථයන් ගැන දැඩිව සලකා බලා ලංකා බැංකු සේවක සංගමය මෙම යෝජනාව ඉදිරිපත් කළ බව එම සංගමය පවසයි.

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව, සියලු බැංකු පාලනාධිකාරීන් සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය වෙත මෙම යෝජනා ඉදිරිපත් කෙරී තිබේ. එහිදී මෙලෙස බැංකු කටයුතු සීමා කිරීමට පමණක් යෝජනා කරන ලද්දේ රජය විසින් බැංකු වැසිය යුතු බවට තීරණයක් ගෙන නොමැති තත්ත්වය නිසා බවද ලංකා බැංකු සේවක සංගමය පවසයි.

“මේ පිළිබඳව කළ සාකච්ඡා මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දුන් උපදෙස් මත ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය සියලු බැංකු වෙත උපරිම පැය 4ක කාලයකට පමණක් බැංකු විවෘත කර තබන ලෙසට උපදෙස් ලබා දීමට තීරණය කර ඇත. තවද සති අන්ත සේවාවන් තාවකාලිකව නැවැත්වීමටද කටයුතු කරනු ඇත.” එම නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර බැංකු මහජනතාවට විවෘත කර තැබීම සීමා සහිත වුවද එම කාලයේදී පවා රෝගී තත්ත්වයන් ආසාදනය විය හැකි බැවින්, සිය සංගමය මීට පෙර දැන්වූ උපරිම ආරක්ෂිත උපක්‍රමයන් අනුගමනය කිරීමට මහා සාමාජිකත්වය පියවර ගත යුතු බවත් එම සංගමය සඳහන් කරයි.

එසේම සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සියලුම බැංකු පාලනාධිකාරීන්ද උපරිම පියවර ගත යුතු බවත් යළිත් අවධාරණය කරන බවද එම ලංකා බැංකු සේවක සංගමය නිවේදනයක් මගින් පවසා සිටියි.

මෙලෙස බැංකු කටයුතු පැය 04ට පමණක් සීමා කිරීම කොපමණ කලකට ක්‍රියාත්මක වන්නේදැයි පිළිබඳව ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ ලංකා බැංකු සේවක සංගමයෙන් සිදුකළ විමසීමකට පිළිතුරු දුන් එහි නියෝජිතයෙකු කෝවිඩ් 19 වසංගතය මෙරටින් නිමාවන තුරුම එම තත්ත්වය පැවතිය හැකි බවත් සඳහන් කර සිටියේය.

Visits: 1016