කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු හෙට සිදු කරනවාලු

කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු හෙට සිදු කරනවාලු

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු හෙට දිනයේදී එනම් 2020 මාර්තු 20 වැනිදා සිදු කරන බව කොටස් වෙළෙඳ පොළ නිවේදනයක් මගින් පවසා සිටියි. කෙසේ වෙතත් සුපුරුදු පරිදි පස්වරු 2.30 දක්වා ගනුදෙනු සිදු නොකර පස්වරු 1.00 දක්වා පමණක් ගනුදෙනු සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි එහි සඳහන්ව තිබේ.

මෙහිදී පෙරවරු 9.30ට පෙර-ඇරඹුම් සැසියක් පැවැත්වෙන අතර එය පෙරවරු 10.00 දක්වා ක්‍රියාත්මක වෙයි. පෙරවරු 10.00 න් අනතුරුව සිදුවන විවෘත ලංසු තැබීමෙන් අනතුරුව කොටස් වෙළෙඳ පොළ තුළ සාමාන්‍ය ගනුදෙනු කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. පස්වරු 1.00 ට ගනුදෙනු නිමාවට පත් කිරීම සැලසුම වී තිබේ.

කෝවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හෙට දිනයේ සිට ලබන මාර්තු 27 දක්වා දින හයක කාලයක් සියලුම රජයේ සහ පෞද්ගලික සේවකයන් නිවසේ සිට සිය රාජකාරි කටයුතු කළ යුතු බවට රජය ලබා දී ඇති දැනුම් දීම අනුව සිය සාමාජික සමාගම්/වෙළෙද සාමාජිකයන් ඇතුළු පිරිස් හැකිතාක් එම ක්‍රමවේද අනුගමනය කරන ලෙසටද කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉල්ලීම් ඉදිරිපත් කර සිටියි.

මෙම සතිය තුළදී කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සිදු කරන පළමු දිනය බවටද හෙට දිනය පත්ව තිබේ. මේ සතියේ මුල් දින හතරේදීම (16,17,18 සහ 19 දිනවලදී) කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අත්හිටුවීම සිදුවිය.

කෙසේ වෙතත් මෙම අර්බුදකාරී මොහොතේදී  කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සිදු නොකර සිටීම වඩාත් හොඳ අවස්ථාවක් බව කොළඹ කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම්වල අදහස වී තිබේ.

Visits: 56