LOLC මයික්‍රොෆිනෑන්ස් බැංකුව පාකිස්තානයේ සිය නවතම ශාඛාව ඉස්ලාමාබාද් නුවරදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන LOLC මයික්‍රොෆිනෑන්ස් බැංකුව පාකිස්තානය තුළ සිදුකරන මෙහෙයුම් තවදුරටත් ව්‍යාප්ත කරමින් සිය නවතම ශාඛාව ඉස්ලාමාබාද් නුවරදී විවෘත කළ බව පවසයි.

පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ශාඛාව විවෘත කෙරී තිබේ. මෙහිදී අදහස් දක්වා ඇති මහකොමසාරිස්වරයා පාකිස්තානය තුළ මූල්‍ය අන්තර්ගතභාවය සහ දැන්වත්භාවය ලබාදීම වෙනුවෙන් LOLC හෝල්ඩිංග්ස් දක්වන උත්සාහය අගය කිරීමක් සිදු කර තිබේ.

මෙම අවස්ථාව සඳහා LOLC මයික්‍රොෆිනෑන්ස් බැංකුවේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ෆාරුක් රෂිඩ් ඇතුළුව එම බැංකුවෙහි ඉහළ කළමනාකාරිත්වයේ කණ්ඩායමක් සහභාගි වී සිට ඇත.

මීට පෙර Pak Oman Microfinance Bank ලෙස හැඳින්වුණු LOLC මයික්‍රොෆිනෑන්ස් බැංකුව 2006 මාර්තු මාසයේදී ස්ථාපිත කරවූවකි. 2021 දී Pak Oman Microfinance බැංකුවෙහි කොටස්හිමිකරුවන් LOLC Asia Private Limited සමගින් පැමිණි එකඟතාවකට අනුව එම බැංකුවෙහි 100$ක කොටස් හිමිකාරීත්වය එම සමාගමට පැවරීම සිදු විය. ඒ අනුව LOLC මයික්‍රොෆිනෑන්ස් බැංකුව බිහි විය. 2023 ජනවාරි මාසය වනවිට එම බැංකුව සතුව පාකිස්තානයේ සෑම පළාතකම මෙහෙයුම් සිදු කරන ශාඛා 84ක් පිහිටා ඇතැයි සඳහන් වෙයි.

අද වනවිට LOLC මයික්‍රොෆිනෑන්ස් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ ෆාරුක් රෂීඩ් (සභාපති, ප්‍රධාන විධායක නිලධාරී), රෝහන කුමාර (විධායක නොවන අධ්‍යක්ෂ), කොන්රාඩ් ඩයස් (විධායක නොවන අධ්‍යක්ෂ), දුලිප් රසික සමරවීර (විධායක නොවන අධ්‍යක්ෂ), සරාජිකා සන්ජීවනී කොටකදෙණිය (විධායක නොවන අධ්‍යක්ෂ), ආචාරය ඛාවාර් සිද්දික් කොඛාර් (ස්වාධීන අධ්‍යක්ෂ), මුහම්මද් අස්ලාම් (ස්වාධීන අධ්‍යක්ෂ), චාමික විජේවර්ණසූරිය (විධායක අධ්‍යක්ෂ) යන මහත්ම මහත්මීන්ය.

Visits: 0