මුකේෂ් අම්බානි, අදානිගේ බලශක්ති ව්‍යාපෘතියක රුපියල් කෝටි 50ක් ආයෝජනය කරයි

ඉන්දියාවේ ගෞතම් අදානිට අයත් අදානි සමූහය මගින් ක්‍රියාත්මක කරන බලශක්ති ව්‍යාපෘතියක් වෙත මුදල් ආයෝජනය කිරීමට මුකේෂ් අම්බානිට අයත් රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම පසුගියදා පියවර ගත් බව වාර්තා වෙයි.

ඒ අනුව ඉන්දියාවේ මෙන්ම දකුණු ආසියාවේද ප්‍රමුඛතම ව්‍යාපාරිකයන් දෙදෙනා වන මුකේෂ් අම්බානි සහ ගෞතම් අදානි අතර සහයෝගීතාවක් ඇති වූ පළමු අවස්ථාව ලෙසත් මෙය සැලකෙයි.

මෙහිදී එරට මධ්‍ය ප්‍රදේශ්හිදී ක්‍රියාත්මක කෙරන මෙගාවොට් 500ක ධාරිතාවක් සහිත මහාන් එනර්ජෙන් ලිමිටඩ් සමාගමෙහි කොටස් කෝටි 5ක් මිලදී ගැනීමට රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම කටයුතු යොදා තිබේ. මෙය එම සමාගමෙහි සමස්ත කොටස් අතරින් 26෴ක ප්‍රතිශතයකි. කොටසක් රුපියල් 10ක් බැගින් මෙම මිලදී ගැනීම සිදු කර ඇති අතර සමස්ත ගනුදෙනුවේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 50කි.

මෙම මහාන් එනර්ජෙන් ලිමිටඩ් සමාගම ගෞතම් අදානිගේ අදානි සමූහයෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත අදානි පවර් ලිමිටඩ් සමාගම යටතේ පවතින සමාගමකි. මෙය ගල් අඟුරු භාවිත කරමින් සිදු කරන තාප බලාගාරයකි.

“අදානි පවර් ලිමිටඩ් සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන මහාන් එනර්ජෙන් ලිමිටඩ් සමාගම රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගම සමගින් මෙගාවොට් 500ක බලශක්තියක් මිලදී ගැනීම සඳහා වන වසර 20ක දිගු කාලීන එකඟතාවකට පිවිසීමක් සිදු කළා.” යනුවෙන් අදානි පවර් සමාගම පවසා තිබේ.

මෙලෙස අම්බානි සහ අදානි එකට එක්ව ව්‍යාපාර කටයුතු සිදු කිරීම ඉන්දියානු ආර්ථිකයේ අනාගතය වෙත වඩාත් සුභවාදී අවස්ථාවක් වන බව එරට මාධ්‍ය පවසයි. විශේෂයෙන්ම අම්බානි අද වනවිට සිය ව්‍යාපාර ඉන්ධන සහ ගෑස් මෙන්ම දුරකතන සන්නිවේදන ඇතුළු ක්ෂේත්‍ර වෙත පුළුල් කර තිබේ. එසේම අදානි ගුවන් තොටුපොළ, ගල් අඟුරු සහ පතල් මෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙතද අවධානය යොමු කර තිබේ.

මේ අතර අදානි වසර2030 වනවිට ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයා බවට පත්වීමේ අරමුණින් සිටින අතර, අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම මගින් ගුජරාටය තුළ සූර්ය පැනල, බැටරි, හරිත හයිඩ්‍රජන් සහ සූර්ය කෝෂ නිෂ්පාදනය සඳහා වන දැවැන්ත කර්මාන්තශාලා හතරක්ඉදිකරමින් සිටියි. එසේම අදානිද සූර්ය බලශක්ති මොඩියුල, සුළං ටර්බයින සහ හයිඩ්‍රජන් විද්‍යුත්විච්ඡේදක නිෂ්පාදනය සඳහා දැවැන්ත කර්මාන්තශාලා තුනක් ඉදිකරමින් සිටියි.

Visits: 0