රුමේනියාව යුරෝපයේ ෂෙන්ගන් කලාපය වෙත අඩවශයෙන් ඇතුළු වෙයි

යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් අතර වීසා බලපත්‍රවලින් තොරව ගමන් කිරීම සඳහා පහසුකම් සලසන ෂෙන්ගන් කලාපය වෙත අඩවශයෙන් ඇතුළුවීමට රුමේනියාව අද (31දා) සමත් වූ බව වාර්තා වෙයි. මීට අමතරව බල්ගේරියාවටත් එම අවස්ථාව හිමිව තිබේ.

මෙම වසර අවසානයේදී පමණ දෙරටම මෙම ෂෙන්ගන් කලාපය වෙත සම්පූර්ණව එකතු වීමේ අවස්ථාව උදා වනු ඇතැයිද වාර්තා සඳහන් කරයි.

මේ සමගින්ම අද වනවිට මෙම ෂෙන්ගන් කලාපය වෙත ඇතුළත් වන රටවල් සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් තිබේ. යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් අතරින් 25ක් සහ ස්විස්ටර්ලන්තය, නෝර්වේ, අයිස්ලන්තය සහ ලෙයිට්ටෙන්ස්ටෙයින් යන රාජ්‍යයන්ද මේ දක්වා ඊට සම්බන්ධව සිටියේය.

මේ අතර රුමේනියානු රජය සඳහන් කරන ආකාරයට එරට සාගර වරාට 4ක් සහ ගුවන් තොටුපොළ 17ක් වෙත මෙම ෂෙන්ගන් නීති ඊයේ සිට බලාත්මක වෙයි. ඒ අනුව රුමේනියාවේ සිට යුරෝපා සංගමයේ රාජ්‍යයන් වෙත යාමට බලාපොරොත්තු වන මගීන් වෙත පහසුකම් සැලසීම සඳහා වැඩි දේශසීමා ආරක්ෂක පොලිස් නිලධාරීන් සහ ආගමන විගමන නිලධාරීන් පිරිසක් යොදවන බවත් ඔවුන් පවසයි.

මීට අමතරව මෙම වාසිය ප්‍රයෝජනයට ගනිමින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රුමේනියාවෙන් පිටවන පිරිස් අල්ලා ගැනීමත් එහි එක් අවස්ථාවක් බව රජය සඳහන් කරයි. ඒ හරහා නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම අරමුණ වී තිබේ.

Views: 0