ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් කොටස් අලෙවි කිරීමේ ක්‍රියාවලිය යළිත්

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් විකිණීමේ ක්‍රියාවලියට එරෙහිව ලයිකා සමූහය විසින් ගොනු කරන ලද රිට් අයදුම්පත් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව මෙම ක්‍රියාවලිය නැවත යථා තත්ත්වයට පත් වී ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය පවසයි.

Lyca Mobile SARL සහ Pettigo Comercio Internacional විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීමේ ක්‍රියාවලියට එරෙහිව රිට් අයදුම්පතක් ගොනු කර තිබූ අතර Lyca Leasing Holding Ltd ලංකා හොස්පිට්ල්ස් බෙදා හැරීමේ ක්‍රියාවලියට එරෙහිව රිට් අයදුම්පතක් ගොනු කර තිබිණි.

මුදල්, ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ ප්‍රධානී සුරේෂ් ෂා අද දිනයේ පළවුණු ද සන්ඩේ මෝර්නින්ග් පුවත්පත වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් මේ බව පවසා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල්ස් විකිණීම සම්බන්ධයෙන් ගනු ලබන කිසිදු ක්‍රියාමාර්ගයක් වළක්වමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ඊට අදාළ අයදුම්පත් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඉවත් කර ඇති බව ඔහු මෙහිදී පවසා තිබේ.

“හැකියාවක් තිබෙන ආයෝජකයන් කඩිසරව ක්‍රියාවලියේ කටයුතු කරමින් ඉන්නවා. එය අවසන් වූ පසු, අපි ඔවුන්ට යෝජනා සඳහා ඉල්ලීම් ලේඛන ලබා දෙනවා, එහිදී ප්‍රතිචාර දැක්වීමට සහ ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති.” යනුවෙන් විකිණීමේ ක්‍රියාවලියේ වත්මන් අදියර පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල්ස් සඳහා වන විකිණීමේ ක්‍රියාවලිය ලබන මස වන විට ආරම්භ කිරීමට ඉඩ ඇති බව ඔහු මෙහිදී අනාවරණය කර තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල්ස්හි රජයේ කොටස් බෙදා හැරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග වළක්වමින් ඩී.එන් සමරකෝන් විනිසුරුවරයාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පෙබරවාරි 27 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද මෙම අතුරු තහනම් නියෝග මාර්තු 12 දිනට නියම කරන ලද නඩුවේ මීළඟ දිනය දක්වා බලපැවැත්විණි.

රජයේ ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්‍ෂණය කරන ඇමැති මණ්ඩල කමිටුව හේතු දැක්වීමකින් තොරව තම අයදුම්පත් ප්‍රතික්ෂේප කර ඇති බවත්, එය ප්‍රතික්ෂේප කිරීම හිතුවක්කාර, අසාධාරණ සහ නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවන් ඔවුන්ගේ රිට් අයදුම්පත්‍රයේ සඳහන් කර තිබිණි.

කෙසේවෙතත්, මෙම කාරණය මාර්තු 12 වැනි දින මතු වූ විට, පෙත්සම්කරුවන් පැහැදිලි කළ නොහැකි ලෙස අයදුම්පත් ඉල්ලා අස්කර ගෙන ඇති අතර, අවශ්‍ය නම් අලුතින් අයදුම්පත් ගොනු කිරීමේ අයිතිය රඳවා තබාගෙන ඇතැයිද සඳහන් වෙයි.

Views: 0