සන්ෂයින් හෝල්ඩිංග්ස් නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කරයි

සන්ෂයින් හෝල්ඩිංග්ස් පී එල්සී පසුගියදා සිය සමාගමේ නවතම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික පත්වීම් කිහිපයක් නිවේදනය කරන ලදී. ඒ අනුව සමූහයේ විධායක කමිටු සාමාජිකයින් වන අරුණ දීප්තිකුමාර, මිෂෙල් සේනානායක, ආචාර්ය ටී. සයන්දන් සහ ශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් විධායක අධ්‍යක්ෂවරුන් ලෙස පත් කිරීමට සන්ෂයින් හෝල්ඩිංග්ස් කටයුතු කර තිබේ.

මෙම නව පත්වීම් පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩිංග්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා සඳහන් කර සිටියේ ‘‘අපගේ සමූහයේ විධායක අධ්‍යක්ෂවරුන් ලෙස අරුණ දීප්තිකුමාර, මිෂෙල් සේනානායක, ආචාර්ය ටී. සයන්දන් සහ ශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන්  පත් කිරීම පිළිබඳව ඉතාමත් සතුටුයි. සන්ෂයින් හෝල්ඩිංග්ස්හි සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය අත්දැකීම්, උපාය මාර්ගික හැකියාවන් හා කැපවීම ඉතා වැදගත් වනවා. ඔවුන්ගේ මෙම නායකත්වය තුළින් අපගේ සියලූ පාර්ශවකරුවන් වෙත විශිෂ්ට සේවාවක් සලසමින් සන්ෂයින් හෝල්ඩිංග්ස් ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් ලෙස තවදුරටත් ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා.’’ යනුවෙනි.

සන්ෂයින් හෝල්ඩිංග්ස් හි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇති එහි සමූහ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී අරුණ දීප්තිකුමාර මහතා වසර 20කට වැඩි අත්දැකීම් සහිත වෘත්තිකයෙකි. සාර්ථක ව්‍යාපාර ක‍්‍රියාවලීන් වැඩි දියුණු කිරීම හා සියලූ අංශයන්හි කණ්ඩායම් නායකත්වය තුළින් මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ සවිමත් වාර්තාවකට හිමිකම් කියන දීප්තිකුමාර මහතා ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකුද වේ. එසේම වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සහායක සාමාජිකයකුද වන ඔහු ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණය පිළිබඳව B.Sc. උපාධිධාරියෙකු මෙන්ම වරලත් අලෙවිකරණ ආයතනයේ සහායක සාමාජිකයෙකු ලෙසද සඳහන් කළ හැකිය.

සන්ෂයින්යින් හොල්ඩිංග්ස් හි සමූහ ප‍්‍රධාන මානව හා ආයතනික සන්නිවේදන නිලධාරී ලෙස කටයුතු කරන මිෂෙල් සේනානායක මහත්මිය Sunshine Consumer හි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇත. වසර 27කට වැඩි වෘත්තීය පලපුරුද්දක් සහිත සේනානායක මහත්මිය ඉන් වසර 15ක කාලයක් පුරා මානව සම්පත් කටයුතුවල ප‍්‍රමුඛත්වයක් ගෙන කටයුතු කළ අයෙකි. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් MBA (මානව සම්පත්) උපාධියක් හිමි කරගෙන ඇති ඇය ජාත්‍යන්තර පුහුණුකරුවන්ගේ සම්මේලනයේ සහතිකලත් වෘත්තීය පුහුණුකාරිණියක්ද වේ.

Sunshine Healthcare හි අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇති ආචාර්ය ටී. සයන්දන් මහතා Sunshine Medical Devices සහ Lina pharmaceutical manufacturing හි ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරනු ලබයි. වසර 32කට අධික අත්දැකීම්වලින් පරිපූර්ණ ආචාර්ය සයන්දන් මහතා 2017 වසරේ සිට Sunshine Medical Devices සහLina pharmaceutical manufacturing හි සාර්ථකත්වය වෙනුවෙන් මග පෙන්වනු ලැබීය. Asia e විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇති ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේMBA උපාධියකටද හිමිකම් කියයි. එසේම වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයකුද වන ආචාර්ය සයන්දන් මහතා ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහ ශ‍්‍රී ලංකා කළමනාකරණ ආයතනයේ පූර්ණ සාමාජිකත්වයද දරනු ලබයි.

ශාන්ත බණ්ඩාර මහතා Sunshine Healthcare හි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වන්නේ Sunshine Pharmaceuticals සහ Healthguard Distribution හි ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියදීය. ඖෂධ කර්මාන්තයේ වසර 26කට වැඩි පළපුරුද්දක් සහිත ශාන්ත බණ්ඩාර මහතා 2011 වසරේ සිට සන්ෂයින් ඖෂධ ක්ෂේත‍්‍රයේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ Sunshine Pharmaceuticals ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සෞඛ්‍ය සේවා සමාගමක් බවට පත් කිරීමට කටයුතු කරමිනි. ශ‍්‍රී ලංකාවේ සමස්ත ඔසුසැල් ජාලය වෙත ඖෂධ සැපයීම වෙනුවෙන් සියලූ ඖෂධ සමාගම් වෙත පහසුකම් සලසන ප‍්‍රධාන බෙදාහැරීම් ආකෘතියක් වන Healthguard Distribution පිහිටුවීම සඳහා නායකත්වය ලබා දුන් ඔහු ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ පශ්චාත් උපාධියකටද හිමිකම් කියයි. ශාන්ත බණ්ඩාර මහතා මේ වන විට ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ (SLCPI) උප සභාපතිවරවයාද වේ.

සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී යනු ශ‍්‍රී ලංකා ආර්ථිකයේ සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල උපායමාර්ගික ආයෝජන සමඟ වටිනාකමක් ඇති කරමින් ‘’ජාතිය ගොඩනැගීමට’’ දායකත්වයක් දක්වන සමූහ ව්‍යාපාරයකි.

Visits: 0