සෙලින්කෝ ලයිෆ් 2023 ප්‍රතිඵල සමඟ වසර 20ක අඛණ්ඩ වෙළඳපළ නායකත්වයක් ලබා ගනී

ශ්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ දශක දෙකක අඛණ්ඩ වෙළඳපළ නායකත්වයේ සන්ධිස්ථානය අත්පත් කර ගනිමින් සෙලින්කෝ ලයිෆ් සමාගම 2023 දෙසැම්බර් 31න් අවසන් වන වසර තුළදී විශිෂ්ඨ වාරික ආදායම් සහ ඒකාබද්ධ ආදායම් වර්ධනයක් වාර්තා කර ඇත.

සමාගම  විසින් 2023 දී රක්‍ෂණ ඔප්පු හිමියන්ට වාර්තාගත ලෙස රුපියල් බිලියන 23 ක ශුද්ධ හිමිකම් සහ ප්‍රතිලාභ ගෙවා ඇති අතර එය සියයට 22 ක වර්ධනයකි. සෙලින්කෝ ලයිෆ් විසින් රුපියල් බිලියන 33.41 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 28 ක ආයෝජන සහ අනෙකුත් ආදායමක් ලබා ඇති අතර එය, පිළිවෙලින් සියයට 14.6 ක සහ සියයට 39.5 ක වැඩි දියුණු වීමකි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් සලකා බලන මාස 12 සඳහා සමාගමේ ඒකාබද්ධ ආදායම රුපියල් බිලියන 61.4 ක් වූ අතර එය 24.7% ක ඉහළ මට්ටමේ වර්ධනයක් පෙන්නුම් කළේය. ගෙවී ගිය වර්ෂය තුළ පැවැති සමාජ-ආර්ථික අභියෝග සන්දර්භය තුළ එය කැපී පෙනෙන ජයග්‍රහණයක් බව සමාගම පවසයි.

සෙලිනකෝ ලයිෆ් හි ජීවිත අරමුදල 2023 දෙසැම්බර් 31 වන විට රුපියල් බිලියන 157.5 ක් දක්වා රුපියල් බිලියන 23කින් නැතහොත් සියයට 16.8 කින් වර්ධනය වී ඇති අතර, ඒ එම වසරට අදාලව කොටස් හිමියන්ගේ අරමුදලට රුපියල් බිලියන 1.97 ක් පැවරීමෙන් අනතුරුවය.

2023 දෙසැම්බර් 31 වන විට සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 224.7 දක්වා රුපියල් බිලියන 33.2 කින් නැතහොත් සියයට 17.3 කින් වර්ධනය වී ඇත. තවද, සමාගමේ ආයෝජන කළඹ මාස 12 තුළ රුපියල් බිලියන 32.2 ක නැතහොත් සියයට 19.4 ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 198.1 ක් විය.

සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිළධාරී තුෂාර රණසිංහ මහතා පැවසුවේ “පසුගිය වර්ෂය තුළදී ආර්ථික හා දේශපාලන අවිනිශ්චිතතාවයන් ව්‍යාපාරවලට මෙන්ම පාරිභොගිකයින්ට ද බලපෑවේ ආයෝජන සඳහා තීරණ ගැනීම අපහසු කරමිනි.      අඛණ්ඩ 20 වන වසර සඳහා වෙළඳපළ නායකත්වය වාර්තා කිරීම සඳහා තරඟකාරීත්වය අභිබවා යාමට අප සමාගමට ඇති හැකියාව, රක්ෂණ ඔප්පු හිමියන්ගේ අනාගතය අවදානමෙන් තොර එකක් බවට පත් කිරීම සඳහා සෙලින්කෝ ලයිෆ් ගොඩනගා ඇති විශ්වාසයේ සහ ආත්ම ශක්තියේ ගැඹුර පැහැදිලිව පෙන්නුම් කරයි.”  

සෙලින්කෝ ලයිෆ් හි අවදානම් මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය (CAR) 2023 වසර අවසානයේ දී සියයට 344 දක්වා සැලකිය යුතු ලෙස වැඩි වූ අතර, කර්මාන්ත නියාමකයන්ට අවශ්‍ය අවම CAR අගය වන සියයට 120 අගයට වඩා බෙහෙවින් වැඩි විය. 

Views: 0