ලෝහ සමාගම් දෙකක් මිලදී ගත් ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම ලක්ෂපාන පීඑල්සී වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගමෙහි නම ලක්ෂපාන පීඑල්සී ලෙස වෙනස් කිරීමට ලක්කළ බව එම සමාගම පවසයි.

2024 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නම් වෙනස් කිරීම සිදු කර තිබේ.

ඒ අනුව මෙය ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම සිය ව්‍යාපාරික මෙහෙයුම් පුළුල් කිරීමේ අවස්ථාවක් ලෙසද සැලකිය හැකි බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි. මෙම වෙනස්කම පිළිබඳව සමාගම මීට පෙරද සඳහන් කර තිබුණි.

විශේෂයෙන්ම ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛතම ලෝහ ආශ්‍රිත නිෂ්පාදන සමාගම් දෙකක් අත්පත් කරගැනීමට කටයුතු යෙදීය.

ඒ අතරින් සිය මව්සමාගම වන ඊ.බී. ක්‍රීසි සහ සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය පැවැති ලංකා ස්පෙෂල් ස්ටීල්ස් ලිමිටඩ් (LSSL) සමාගමෙහි 100%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමට ලක්ෂපාන බැටරීස් පීඑල්සී කටයුතු යෙදීය.

මෙහිදී එම සමාගමෙහි කොටස් 2,138,657ක් මිලදී ගැනීම සිදු වුණු අතර, එහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 694කි. මෙම මුදල කොටස් වශයෙන් ගෙවීමට සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂ මණ්ඩල කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව මුල් මුදල ලෙස රුපියල් මිලියන 347ක් ගෙවීමටත්, ඉතිරි මිලියන 347ක මුදල 2027 පෙබරවාරි 26 වැනිදාට පෙර වසර තුනක් ඇතුළත කොටස් වශයෙන් ගෙවීමටත් එකඟතාවට පැමිණ තිබේ.

එසේම වහල සහ බිත්ති මත සවි කරන ආලේපිත ලෝහ සෙවිලි තහඩු සහ ක්ලැඩිං නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගමක් වන BlueScope Lysaght Lanka  සමාගමද සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට කටයුතු යෙදීය. සුප්‍රිද්ධ Durashine සන්නාමය හිමිව ඇත්තේද එම සමාගමටයි.

මෙම සමාගම ඉන්දියාවේ ටාටා සමූහයට අයත් Tata BlueScope Steel Ltd පරිපාලිත සමාගමකි. BlueScope Lysaght Lanka  සමාගමෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 10,635,000ක් රුපියල් මිලියන 320කට මිලදී ගැනීමට ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම කටයුතු යෙදීය. මෙම ගනුදෙනුව මාර්තු 15 වැනිදා සම්පූර්ණ කෙරිණි.

මෙම අත්පත් කරගැනීමත් ලෝහ කර්මාන්තය තුළ සිය ශක්තිමත් බව තවදුරටත් වර්ධනය වන බවත් ලක්ෂපාන බැටරීස් සමාගම සඳහන් කර සිටියේය.

2023 දෙසැම්බර් 31 වැනිදා වනවිට ලක්ෂපාන පීඑල්සී සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 27,712,378ක් එනම් 41.85%ක ප්‍රතිශතයක් ඊ.බී. ක්‍රීසි සහ සමාගමට (E.B. Creasy and Company PLC) වෙත හිමිය.

Views: 0