පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය වසර 30කට ජපාන ආයෝජකයෙකුට

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයක් ලෙස සංවර්ධනය සඳහා අකිර හිරෝස් (Akira Hirose) නම් ජපන් ආයෝජකයකු වෙත වසර 30ක කාලයකට බදු දීමට පියවර ගත් බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ඊට අදාළ මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සහ ජපන් ආයෝජක අකිර හිරෝස් යන මහත්වරුන් අතර බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරීයේදී සිදු කෙරී තිබේ.

කොළඹ පිටකොටුවේ බැස්ටියන් මාවතේ පිහිටා ඇති පිටකොටුව පාවෙන වෙළඳපොල වෙළඳ කුටි 92 කින් සමන්විත වන අතර බේරේ වැවේ බෝට්ටු මත ස්ථාපිත වෙළඳ කුටි ගණනාවක්ද එහි ඇත.

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කළමනාකරණය හා පවත්වාගෙන යාම මෙම ජපන් ආයෝජනය මඟින් සිදු කෙරෙන බව එම අධිකාරිය පවසයි. මෙහිදී පාවෙන වෙළඳ සංකීර්ණය ජපන් නගරය හා පාවෙන වෙළඳපොළ ලෙස සංවර්ධනය කිරීමට නියමිතව ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘති මේ සඳහා ආයෝජකයන්ට ඉදිරිපත් වන ලෙස ආරාධනය කළේය. මෙම ජපන් ආයෝජකයා ඉදිරිපත් වූයේ ඒ අනුවයි. වසර 30ක බදු කාලය තුළදී එය විදෙස් ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් හා පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය සංචාරක පුරවරයක් ස්ථාපනය කිරීම මෙහි අරමුණ වේ. මෙය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කාලය මාස 6කි.

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය 2014 අගෝස්තු 25 වන දින එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත විවෘත කෙරිණි.  ඒ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 352කි.

මෙම වෙළඳ සංකීර්ණයේ මූලික ඉලක්කය වූයේ වැය වූ සම්පූර්ණ වියදමින් 50% ක් වසර 05 කදී උපයා ගැනීමයි. නමුත් එය විවෘත කළත් පසුගිය යහපාලන රජය යටතේ පාවෙන වෙළඳ සංකීර්ණය සංවර්ධනය නොකර අතහැර දමා තිබූණි.

නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් මෙහි තිබූ වෙළදසැල් 92 න් සියයට 80 ක ප්‍රමාණයක් වැසී ගියේය. ලෑලි දිරාපත් වීම, විදුලි ආලෝක පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, අනාරක්ෂිත බව, අපිරිසිදු වටපිටාව, දුර්ගන්ධය මෙන්ම නීති විරෝධී සහ විනය විරෝධී ක්‍රියා සිදුවීම නිසා පසුගිය කාලයේදී මෙම පාවෙන වෙළද සංකීර්ණය දිනෙන් දින පරිහානියට පත්විය. ඒ හේතුවෙන් කලින් සැලසුම් කළ පරිදි වසර පහක් තුළ වියදමින් 50%ක මුදලක් උපයා ගැනීමේ වැඩපිළිවෙලට බාධා එල්ල විය.

විනාශ මුඛයට යමින් තිබූ පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) ඉන් වසර හයකට පසුව වාණිජ මධ්‍යස්ථානයක්, ඓතිහාසික නගරයක් සහ වාණිජ නගරයක් යන කරුණු තුන මත පදනම්ව කොළඹ පිටකොටුව ආශ‍්‍රිත ප‍්‍රදේශ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේදී 2021 අප්‍රේල් මස 07 වැනිදා පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට ලක් කිරීමෙන් පසු යළි විවෘත කෙරිණ. යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 25කි.

Visits: 0