BOI සභාපති දිනේෂ් වීරක්කොඩි යුනියන් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මහ බැංකුවෙහි ලියාපදිංචි, බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන යුනියන් බැංකුවෙහි (යුනියන් බැන්ක් ඔෆ් කලම්බු පීඑල්සී) නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත් කෙරෙන බව එම බැංකුව පවසයි.

මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවෙහි බැංකු සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ඇති බවත්, ඒ අනුව ලබන අප්‍රේල් 01 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා බැංකුවෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ වරයෙකු ලෙස පත් කෙරෙන බව සඳහන් වෙයි.

මෙම පත් කිරීම සිදුවන අවස්ථාව වන විට දිනේෂ් වීරක්කොඩි මහතා සතුව යුනියන් බැංකුවෙහි කිසිදු කොටස් හිමිකාරිත්වයක් නොමැති බවත් බැංකුව පවසයි.

දිනේෂ් වීරක්කොඩි මහතා වර්තමානයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) හි සභාපතිවරයා මෙන්ම කොළඹ වරාය නගරයෙහි ආර්ථික කොමිසමේ සභාපතිවරයාද වෙයි. මීට පෙරද ඒ මහතා රජයේ ආයතන රැසකම සභාපති ධුරය මෙන්ම උපදේශක ධුරයන්ද දරා තිබේ.

එසේම දිනේෂ් වීරක්කොඩි මහතා මීට පෙර මෙරට ප්‍රධානතම වාණිජ බැංකු දෙකක් වන හැටන් නැෂනල් බැංකුවෙහි සහ කොමර්ෂල් බැංකුවෙහි සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර ඇත. මීට අමතරව ඔහු DFCC බැංකුවෙහි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

ඒ මහතා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ආසන්නතම හිටපු සභෘපතිවරයාද වෙයි. එසේම ඔහු ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ට උප සභිපතිවරයා මෙන්ම තවත් සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ ධුරයන්ද දරයි.

යුනියන් බැංකුවෙහි වැඩිම කොටස් හිමිකාරීත්වය වන 70.84%ක කොටස් හිමිකාරිත්වයක් නේපාලයේ අංක එකේ ධනවතා වන බිනෝද් චෞද්රිට අයත් CG Capital Partners Global  Pte.Ltd. නම් සමාගම වෙතයි.

වර්තමානයේදී යුනියන් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ නිර්වාන් චෞද්රි (සභාපති – ස්වාධීන නොවන/විධායක නොවන අධ්‍යක්ෂ), ට්‍රෙවින් ප්‍රනාන්දුපුල්ලේ (උප සභාපති – ජ්‍යෙෂ්ට ස්වාධීන අධ්‍යක්ෂ), ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ (විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී), දිල්ශානි විජයවර්ධන (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), සරත් වික්‍රමනායක (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), ආචාර්ය රොෂාන් පෙරේරා (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂක), සබ්‍රි ඊබ්‍රහිම් (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), මැලේ මුඛර්ජි (ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ), සන්ජේ පොක්රෙල් (ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ) යන මහත්ම මහත්මීන්ය.

Visits: 0