වැටුප් වැඩි කිරීම යළි සලකා බැලීමට මහ බැංකුවෙහි ජ්‍යෙෂ්ට කළමනාකාරීත්වය තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවකයන්ගේ වැටුප් ඉහළ දමමින් සිදුකළ වැටුප් සංශෝධනය පිළිබඳව යළි සලකා බැලීමට එහි ජ්‍යෙෂ්ට කළමනාකාරීත්වය තීරණය කර ඇතැයි පවසයි.

අද දිනයේදී මහ බැංකුවෙහි සන්නිවේදන දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටියි.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ජ්‍යෙෂ්ට කළමනාකාරීත්වය සහ මහ බැංකු වෘත්තිකයන්ගෙන් බහුතරයක් සිය වැටුප් සංශෝධනය සලකා බැලීම සඳහා සාමුහීක තීරණයකට එළැඹුණු බව එහි සඳහන් වෙයි.

පසුගිය මාර්තු 16 වැනිදා මෙම තීරණය පාර්ලිමේන්තුවෙහි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කළ බවත් මහ බැංකුව පවසයි.

මහ බැංකුවෙහි පාලක මණ්ඩලය සහ මහ බැංකු වෘත්තීය සමිති නියෝජිතයන් අතර පවතින සාමූහික ගිවිසුමකට අනුව 2024-26 කාල පරිච්ඡේදය සඳහා මෙම වැටුප් සංශෝධනය සිදු කළ බව මහ බැංකුව පවසා සිටියේය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය මිල ස්ථායිතාව සාක්ෂාත් කර ගැනීම සහ පවත්වාගෙන යෑම මෙන්ම රටේ මූල්‍ය පද්ධති ස්ථායිතාව සුරක්ෂිත කිරීමේ වගකීමක් මහ බැංකුව සතුව ඇතැයි මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙම තීරණාත්මක ජාතික නියෝජනය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පළපුරුදු වෘත්තිමය කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා ඇති බවත්, එහි පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියා කිරීම සඳහා දැනට සේවය කරන පළපුරුදු කාර්ය මණ්ඩලය මහ බැංකුව තුළ රඳවා ගැනීමේ අරමුණින් මෑතකදී මෙම වැටුප් සංශෝධනය සිදු කළ බවත් මහ බැංකුව සඳහන් කරයි.

Visits: 0