පෙබරවාරි මාසයේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 983.7යි

මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 983.7ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. මෙය 2023 පෙබරවාරි මාසයේදී වාර්තා කළ ඩොලර් මිලියන 982ක ආදායම හා සැසඳීමේදී 0.17% ක සාමාන්‍ය වර්ධනයකි.

කෙසේ වෙතත් 2024 පෙබරවාරි මාසයේ අපනයන ආදායම, 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 1.3% කින් වැඩි වී ඇතැයිද එම මණ්ඩලය පවසයි.

ඒ අනුව මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මුල් මාස දෙකේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1,954.39ක් ලෙස සටහන්ව ඇත. මෙය 2023 වසරේ මුල්මාස දෙකේදී හිමි වූ ඩොලර් මිලියන 1,960.20ක අපනයන ආදායම හා සැසඳීමේදී -0.30%ක අඩුවීමකි.

2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව, කෘෂිකාර්මික අපනයන 11.82% ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 255.76 දක්වා ළඟා වී තිබේ.

ඇගලුම් සහ රෙදිපිළි අපනයනය තවදුරටත් -2.06%කින් පහළ වැටෙමින් ලබාදී ඇත්තේ ඩොලර් මිලියන 421.31ක ආදායමක් පමණකි. කෙසේවෙතත් දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ ආදායම ඩොලර් මිලියන 37.61ක් දක්වා 66.56%කින්ද, සැකසූ ආහාර හා පාන වර්ග ආදායම ඩොලර් මිලියන 43.00ක් දක්වා 36.77%කින්ද ඉහළ නැග තිබේ.

මේ අතර ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රෙනික සංරචක අපනයන ආදායම 2023 පෙබරවාරි මාසය හා සැසඳීමේදී 18.25%කින් කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන 33.32%කින්, විසිතුරු මසුන් -10.09%කින් සහ පළතුරු 0.64%කින් අපනයන ආදායම් පහළ වැටී තිබේ.

එසේම මල් සහ ශාක පත්‍ර අපනයනය 17.91%කින්ද, බෝට්ටු නිෂ්පාදනය -93.94%කින්ද, ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය 62.90%කින්ද පහළ ගොස් තිබේ.

Visits: 0