ෂෙල් සන්නාමය සහිත පළමු ඉන්ධන පිරවුම්හල් විවෘත කිරීම මේ වසරේ තෙවැනි කාර්තුවේදී

එක්සත් ජනපදයේ RM පාර්ක්ස් (පෞද්ගලික) සමාගම සහ Tristar Group සමාගම අතර ඇති කරගත් හවුල්කාරීත්වය යටතේ මෙරට තුළ පිහිටුවන ෂෙල් සන්නාමය සහිත පළමු ඉන්ධන පිරවුම්හල විවෘත කිරීම මෙම වසරේ තෙවැනි කාර්තුවේදී පමණ සිදුවනු ඇතැයි ෂෙල් සමාගම පවසයි.

අද දිනයේදී ෂෙල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටියි. ඒ අනුව දැනට ශ්‍රී ලංකාව පුරා පිහිටි ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 150ක් ඉදිරියේදී ෂෙල් වෙළෙඳ නාමයෙන් ප්‍රතිසන්නාමකරණයට ලක් කිරිමට RM පාර්ක්ස් (පෞද්ගලික) සමාගම සැලසුම් කර තිබේ.

“Shel Brand International AG (Shell) සහ RM පාර්ක්ස් (පෞද්ගලික) සමාගම අතර සිල්ලර ස්නනාම බලපත්‍ර එකඟතාව අත්සන් තැබීම සහ ෂෙල් සහ RM පාර්ක්ස් (පෞද්ගලික) සමාගම අතර නිෂ්පාදන සැපයුම් එකඟතාව අත්සන් තැබීමෙන් අනතුරුව මෙම වසර අවසානයේදී පමණ ෂෙල් සන්නාමය ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළෙඳ පොළ වෙත ඇතුළුවීම සිදු වේවි.” යනුවෙන් එම නිවේදනයේ සඳහන්ව තිබේ.

මේ අතර RM පාර්ක්ස් (පෞද්ගලික) සමාගම මගින් ඇනවුම් කළ පළමු ඉන්ධන තොගය ඊයේ (21දා) මෙරට වෙත ළගා වූ බවත් මාධ්‍ය වාර්තා මගින් සඳහන් කෙරිණි. එසේම ෂෙල් සමාගමේ ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ගේ සමුළුවක්ද පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණි. මේ සඳහා RM පාර්ක්ස් (පෞද්ගලික) සමාගම, Tristar Group සහ ෂෙල් සමාගමේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්ධන සහ බලශක්ති අමාත්‍යාංශය මගින් 2023 වසරේදී ප්‍රදානය කෙරුණු වසර 20ක කාලයක් සඳහා වන මූලික කොන්ත්‍රාත්තුවට අනුව මෙලෙස රට පුරා ඉන්ධන පිරවුම්හල්වල මෙහෙයුම් Shell සන්නාමය යටතේ ක්‍රියාත්මක වන බව පැවසෙයි.

ඒ අනුව මෙහිදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම් හල් 150ක් Shell සන්නාමය යටතේ මෙහෙයුම් සිදු කිරීමට නියමිතව තිබේ. එසේම ඉදිරියේදී දිවයින පුරා තවත්නව ඉන්ධන පිරවුම්හල් 50ක් ආරම්භ කිරීමටත් මෙහිදී අනුමැතිය ලබා දී ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ඇතිකර ගත් දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව මත පෙට්‍රල්, ඩීසල්, ජෙට් A-1, භූමිතෙල් සහ උදුන් තෙල් ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සිදු කරයි.

තවද ඒ ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන පුළුල් කිරීම එහි ව්‍යාපාරය අනෙකුත් ඛනිජ තෙල් හෝ ගෑස් නිෂ්පාදන, අතුරු නිෂ්පාදන (ගුවන් ඉන්ධන ඇතුළුව), EV ආරෝපණය කිරීම සහ කාර් සේදීම, අන්තර්ජාල කැෆේ, ATM, අවන්හල් වැනි අගය එකතු කළ සේවාවන් සැපයීම මේ තුලින් සිදු වන බවත් පැවසෙයි.

මෙම ව්‍යාපෘති සියල්ලම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ සිදුවන ව්‍යාපෘති වන අතර, ඒ සඳහා වන ගිවිසුම්ගතවීමද පසුගිය වසරේදී සිදුවිය. මෙහිදී එම ආයෝජන එකඟතාවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 110 ක් බවත් සඳහන් විය.

ෂෙල්  සමාගම මේ වන විට යුරෝපය, ආසියාව, අප්‍රිකාව, එක්සත් ජනපදය සහ ඇමරිකාව යන  රටවල බලශක්ති සහ ඛනිජ රසායනික ද්‍රව්‍ය අලෙවිකරණ හා බෙදාහරින ප්‍රමුඛ සමාගමක් ලෙස ක්‍රියාත්මක වේ. ආර්එම් පාර්ක්ස් සමාගම කැලිෆෝනියාවේ ප්‍රමුඛ පෙළේ ඉන්ධන බෙදාහරින්නා වන අතර ඛනිජ රසායන බෙදා හැරීමේ කර්මාන්තයේ වසර 50කට වැඩි කාලයක කීර්තිමත් ඉතිහාසයක් ඇත.

Shell PLC සමාගම මීට පෙරද ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන ගිය සමාගමකි. ඒ යටතේ ක්‍රියාත්මක වූ Shell Gas Lanka සමාගම හරහා මෙරට තුළ LP ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදුකළ අතර, 2010 වසරේදී එම සමාගම මෙරට තුළ සිය ව්‍යාපාර කටයුතු අත්හැර දැමීමට තීරණය කළේය. ඒ අනුව එම සමාගමේ ඉතිරි කොටස්ද මිලදී ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ අතර, 100%ක් රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසායක් ලෙස ලිට්රෝ ගෑස් සමාගම බිහි වූයේ ඉන් අනතුරුවයි.

Visits: 0