ශ්‍රී ලංකාව සහ IMF අතර දෙවැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර වසර හතරක් සඳහා පවතින ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව එම අරමුදල පවසයි.

අද දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට පිළිබඳ ජ්‍යෙෂ්ට මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී කට්සිආර්ය්නා ස්විර්යෙඩ්සෙන්කා එක්ව මහ බැංකුවේදී පැවැත් වුණු මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අනාවරණය කෙරිණි.

ඒ අනුව මෙම දෙවැනි සමාලෝචනය යටතේ වන කාර්ය මණ්ඩල එකඟතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනාධිකාරිය සහ විධායක මණ්ඩලය මගින් ඉදිරියේදී අනුමත කළ යුතුව තිබේ.

එම අනුමැතිය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් තෙවැනි ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 337ක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙයි.

ඒ අනුව මෙම තෙවැනි වාරිකයත් සමගින් ශ්‍රී ලංකාව වෙත මෙම විස්තීරණ ණය එකඟතාව යටතේ හිමිව ඇති සමස්ත අරමුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 1ක් දක්වා ඉහළ යනු ඇතැයිද සඳහන් වෙයි.

2023 මාර්තු 20 වැනිදා ඇති කරගත් මෙම ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය එකඟතාව යටතේ පළමු ණය වාරිකය ලෙස ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක මුදලක් හිමි විය. එසේම පළමු සමාලෝචනයෙන් අනතුරුව දෙවැනි ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 337ක් හිමිවිය.

මෙම දෙවැනි සමාලෝචනය සඳහා පසුගියදා මෙරටට පැමිණි IMF නියෝජිතයන් ජනාධිපතිවරයා, මහ බැංකු අධිපතිවරයා, බලශක්ති ඇමතිවරයා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා, මහාභාණ්ඩාගාරයේ ලේකම්වරයා මෙන්ම මහ බැංකුවෙහි ජ්‍යෙෂ්ට නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ සිවිල් සමාජ සංවිධාන නියෝජතයන් ඇතුළු පිරිස් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. එසේම ඔවුන් නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසකද සංචාරය කළේය.

Visits: 0