තිලංග සුමතිපාල ඒෂියා කැපිටල් පීඑල්සී සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කොටස් තැරැව්කාර, වත්මන් කළමනාකරණ සහ ආයෝජන සමාගමක් වන ඒෂියා තැපිටල් පීඑල්සී (ACAP.N0000) සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ තිලංග සුමතිපාල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි පවසයි.

2024 මාර්තු 19 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම ඉල්ලා අස්වීම සිදුව තිබේ. මෙම ඉල්ලා අස්වීම සිදුවන අවස්ථාව වනවිට තිලංග සුමතිපාල මහතා සතුව සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම සඳහන් කරයි.

2021 සැප්තැම්බර් 29 වැනිදා තිලංග සුමතිපාල මහතා මෙලෙස ඒෂියා කැපිටල් පීඑල්සී සමාගමෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ සභාපතිවරයා ලෙස පත් කෙරිණි.

එතෙක් එම සමාගමෙහි සභාපතිවරයාව සිටි නීතීඥ පෝල් රත්නායක මහතා එම ධුරයෙන්ඉවත් වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා මෙලෙස ඔහු පත් විය.

අද වනවිට ඒෂියා කැපිටල් පීඑල්සී සමාගමෙහි වැඩිම කොටස් හිමිකාරීත්වයක් ඇති මැලේසියානු ආයෝජක විජේ ඊස්වරන් විජයරත්නම්ගේ ආශිර්වාදය අනුව සුමතිපාල මහතා සමාගමෙහි සභාපති ධුරයටපත් කෙරිණි.

2023 දෙසැම්බර් 31 වැනිදා වනවිට විජේ ඊස්වරන් විජයරත්නම් මහතා සතු සමාගමෙහි කොටස් ප්‍රමාණය 94,039,467ක් එනම් 71.61%ක ප්‍රතිශතයක් ගනී. එසේම ඔහුට සබැදි තවත් පාර්ශ්වයක් වන ෆාස්ට් ගේන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් සමාගම සතුව 7.45%ක කොටස් හිමිකමක්ද පවතී. ඒ අනුව අද වනවිට ඊස්වරන් මහතා සතු සමාගමේ සමස්ත කොටස් ප්‍රතිශතය 80%කට ආසන්න වෙයි.

මේ අතර 2023 ඔක්තෝබර් මාසයේදී ඒෂියා කැපිටල් පීඑල්සී සමූහයටඅයත් දේපළ තුනක් වන බීච් රිසෝට්ස් කොස්ගොඩ (පෞද්) සමාගම, වාද්දුව රිසෝට්ස් (පෞද්) සමාගම සහ ගෝල් බීච් සී සී ට්‍රස්ට් (පෞද්) සමාගම වෙන්දේසි කිරීම සඳහා සෙලාන් බැංකුව නිවේදනයක් නිකුත් කළේය. කෙසේ වෙතත් පසුව සමාගම බැංකුව සමගින් ඇති කරගත් එකඟතා සැලසුමකට අනුව මෙම වෙන්දේසිය 2023 දෙසැම්බර් 31 වැනිදා දක්වා කල් දැමීමක්ද සිදු විය. ඒෂියා කැපිටල් පීඑල්සී හා සම්බන්ධ මෙම දේපළ වෙන්දේසිය පිළිබඳව මෙම වසර තුළදී කිසිදු අනාවරණයක් කෙරී නැත.

Visits: 0