සිංගර් සමූහයේ ලැයිස්තුගත සමාගම් දෙකක කොටස් ගනුදෙනු හෙට (26දා) සිට අත්හිටුවයි

සිංගර් ශ්‍රී ලංකා සමූහයට අයත්, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිංගර් ඉන්ඩස්ට්‍රීස් (සිලෝන්) පීඑල්සී (SINI.N0000) සහ රෙග්නිස් (ලංකා) පීඑල්සී (REG.N0000) යන සමාගම්හි කොටස් ගනුදෙනු හෙට (26දා) දිනයේ සිට අත්හිටුවන බව එම කොටස් හුවමාරුව පවසයි.

එහි ප්‍රධාන නියාමන නිලධාරී රේනුක විජේවර්ධන මහතා විසින් ඊයේ දිනයේදී සියලුම ගනුදෙනු හවුල්කරුවන් වෙත ලිපියක් මගින් මේ පිළිඳව දැනුම් දී තිබේ.

මෙම සිංගර් ඉන්ඩස්ට්‍රීස් (සිලෝන්) පීඑල්සී සමාගම සහ රෙග්නිස් (ලංකා) පීඑල්සී යන සමාගම් දෙක සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම හා ඒකාබද්ධ කිරීමත් සමගින්ම මෙම පියවර ගෙන තිබේ.

එම සමාගම් පසුගිය ජනවාරි 18 වැනිදා මෙම ඒකාබද්ධ කිරීම පිළිබඳව නිල වශයෙන් නිවේදනය නිකුත් කළේය. මෙහිදී අදාළ සමාගම්වල කොටස් හිමිකරුවන් ඊට අනුමැතිය ලබාදී තිබේ. විශේෂයෙන්ම සිංගර් සමූහය තුළ සිදුකරන අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ යටතේ මෙම ඒකාබද්ධ කිරීම් සිදු කර තිබේ.

මේ අතර අවසන් වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය බදාදා දිනයේ ගනුදෙනු අවසානයේදී සිංගර් ඉන්ඩස්ට්‍රීස් (සිලෝන්) පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 37.20ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ශත 90කින් එනම් 2.48%කින් ඉහළ ගොස් තිබුණි. එසේම රෙග්නිස් (ලංකා) පීඑල්සී කොටසක් රුපියල් 41.20ක් ලෙස පෙර දිනයට සාපේක්ෂව ශත 90කින් එනම් 2.23%කින් ඉහළ ගොස් තිබුණී.

මෙම සමාගම්වලට අමතරව සිංගර් සමූහයට අයත් පරිපාලිත සමාගම් ලෙස ක්‍රියාත්මක වූ සීමාසහිත සිංගර් බිස්නස් ස්කූල් (පෞද්) සමාගම සහ සීමාසහිත ඩොමුස් ලංකා (පෞද්) සමාගම සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම සමගින් ඒකාබද්ධ කිරීමටත් කටයුතු යොදා තිබේ.

ඒ අනුව පසුගිය ජනවාරි 01 වැනිදා සිට මෙම සමාගම් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී ලෙස ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන අතර, අදාළ ඒකාබද්ධ කිරීමට අදාළ සහිතකයත් සමාගම් රෙජිස්ටාර් ජෙනරාල්වරයා විසින් පසුගිය 22 වැනිදා ලබාදුන් බවත් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 0