කොමර්ෂල් බැංකුවේ eSlip යෙදවුම නවීකරණය වෙයි

මුදල් තැන්පත් කිරීමේදී බැරපත් වෙනුවට භාවිතා කළ හැකි ශ්‍රී ලංකාවේ පළමු යෙදවුම වන ‘eSlip’ යෙදවුම සඳහා කොමර්ෂල් බැංකුවෙන් නව විශේෂාංග මාලාවක් එළිදක්වා ඇත.

‘eSlip’ යෙදවුම මගින් ගනුදෙනුකරුවන් හට මුදල් තැන්පතු ක්‍රියාවලිය නවීන ලෙස සිදු කිරීමට හැකියාව ලබා දෙයි. එමගින් ගනුදෙනුකරුවන්ට ශාඛාවට යන අතරමග දී ම තම දුරකථනයෙන් ඉලෙක්ට්‍රොනිකව මුදල් බැරපත පිරවීමට හැකියි. ඩිජිටල් බැංකුකරණයේ ශක්තිය භාවිතා කරමින් තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වේ. බැංකුවට පිවිසි පසු ගනුදෙනුකරුවන් හට කවුන්ටරය වෙත කඩිනමින් ගොස් තමන්ගේ ගිණුමට හෝ වෙනත් කොමර්ෂල් බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීමට හැකියි.

මෙම යෙදවුම නවීකරණය තුළින් හඳුන්වා දී ඇති විශේෂාංග මගින් මුදල් කවුන්ටරය හරහා සිදුවන තැන්පතු වේගවත්ව හා පහසුවෙන් සිදු කිරීමට අවස්ථාව ලබා දෙයි. මෙය ගනුදෙනුකරුවන්ට මෙන්ම මුදල් කවුන්ටර කාර්යමණ්ඩලයට ද තම කාර්යයන් ඉතා පහසු කරයි. එමෙන්ම මෙමගින් ඔවුන්ව නව්‍යෝත්පාදනය හා බැඳුනු හරිත අනාගතයක් කරා ගෙනයන ක්‍රියාදාමයක කොටස්කරුවන් බවට පත් කරන බව බැංකුව පවසයි.

මෙහිදී යෙදවුම භාවිතා කිරීමේදී පරිශීලකයා පෙර සිටම බැංකුව සමඟ සම්බන්ධතා පැවති ගනුදෙනුකරුවෙක් ද යන්න ස්ථිර කිරීම සඳහා හැඳුනුම්පත් ලේඛනවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමේ නව විශේෂාංගයක් හඳුන්වා දී ඇත. මෙම යෙදවුම භාවිතා කිරීමට කොමර්ෂල් බැංකුවේ ගිණුමක් තිබීම අනිවාර්ය නොවේ.

හඳුන්වා දී ඇති ‘eSlip Groups’ විශේෂාංගය මගින් යෙදවුම භාවිතාකරන්නන් හට එක් QR කේතයක් සඳහා eSlip 10ක් දක්වා සෑදිමේ හැකියාව ලබා දෙයි. මෙම විශේෂාංගය මගින් ගිණුම් කීපයකට මුදල් තැන්පත් කිරීමේ අවශ්‍යතා ඇති ගනුදෙනුකරුවන්ට එක් QR කේතයක් යටතේ එම තැන්පතු පහසුවෙන් කිරීමට හැකියාව ලැබෙන බව බැංකුව පවසයි.

‘eSlip’ යෙදවුම් පරිශීලකයන් හට සම්පූර්ණ කළ සියලුම eSlip ගනුදෙනුවල PDF රිසිට්පත් ලබා ගැනීමට හැකිවීම තවත් නව විශේෂාංගයකි. එමගින් වට්ස්ඇප්, ඊමේල් සහ වයිබර් වැනි සමාජ මාධ්‍ය ජාලා හරහා එම රිසිට්පත් හුවමාරු කරගැනීමට ද හැකියාව ලබා දී ඇත.

Visits: 0